ලංකාවේ භූමිය-මුහුදු කලාපයන් සහ ගුවන් කලාපය කිසිදු රාජ්‍යයකට පක්ෂපාතී ආකාරයෙන් හෝ වෙනත් රටකට පීඩා ඇතිවන ආකාරයෙන් භාවිත කිරීමට ඉඩ දෙන්නේ නෑ! – ජනාධිපති අනුර මහ රෑ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කියයි..
ඉරානයට අයත් ‘IRIS Bushehr’ නෞකාව ත්‍රිකුණාමලය වරාය වෙත ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී මාධ්‍ය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ එහි 208ක් වූ නෞකාවේ කාර්ය මණ්ඩලය මේ වනවිට කොළඹ වරාය වෙත රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවය.
IRIS Bushehr ඉරාන නෞකාව කොළඹ වරායට ආසන්නයෙන්, මෙරටට අනන්‍ය ආර්ථික කලාපයේ රැඳී සිටින බව ජනාධිපතිවරයා මෙම මාධ්‍ය හමුවේදී පැවසිය.
එම නෞකාව ශ්‍රී ලංකා ජල තීරයට ඇතුළු වීමට අවසර ඉල්ලා ඇති බව පැවසු ජනාධිපතිවරයා, එහි සිටින පිරිස් මුදාගෙන ගොඩ බිමට ගෙන ඒම ආරම්භ කළ බව ද මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියේය.
අදාළ නෞකාවේ කපිතාන්වරයා, ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා රජය අතර සිදුවූ සාකච්ඡාවලින් අනතුරුව එම පිරිස මුදා ගැනීමට තීන්දු කළ බව ඔහු පැවසිය.
“ඒ අනුව අපේ නාවික යාත්‍රාවන් එම නැව සමීපයට ගිහිල්ලා එම අය මුදා ගැනීමේ කාර්යයේ නිරත වෙමින් තිබෙනවා. දැනට අපිට වාර්තා වෙලා තියෙන විදිහට 208 දෙනෙක් ගොඩබිමට රැගෙන එන්න සූදානම් කරලා තියෙනවා.”
“එයින් නිලධාරීන් 53 දෙනෙක් ඉන්නවා, කැඩෙට් නිලධාරීන් 84 දෙනෙක් ඉන්නවා, ජ්‍යෙෂ්ඨ නාවිකයින් 48 දෙනෙක් ඉන්නවා, නාවිකයින් 23 දෙනෙක් ඉන්නවා.”
“මේ 208 එම නෞකාවෙන් අපේ යාත්‍රා වෙත රැගෙන කොළඹ වරායට ගේන්න අපි දැන් කටයුතු ආරම්භ කරලා තියෙනවා.”
“ඒ වගේ ම ඉන් අනතුරුව එම නැවට අවශ්‍ය කාර්ය මණ්ඩලයත්, අපේ නාවිකයන් එක්ක ඒකාබද්ධව එම යාත්‍රාව ත්‍රිකුණාමල වරාය ආසන්නයට ගෙනියන්න අපි සැලසුම් කරලා තිබෙනවා,” ඔහු තව දුරටත් පැවසිය.
මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ, ශ්‍රී ලංකාවේ භූමිය, මුහුදු කලාපයන් සහ ගුවන් කලාපය කිසිදු රාජ්‍යයකට ගැටුම්වලදී පක්ෂපාති ආකාරයෙන් භාවිත කිරීමට හෝ වෙනත් රටකට පීඩාවක් ඇතිවන ආකාරයෙන් භාවිත කිරීමට ඉඩ නොදෙන බවය.
“ඕනෑම ජාත්‍යන්තර ගැටුමකදී අපේ ස්ථාවරයේ අපේ මධ්‍යස්ථභාවය, අපි අපේ භූමිය, අපේ මුහුදු කාලාපයන්, අපේ ගුවන් කලාපයන් කිසිසේත්ම කවර හෝ රාජ්‍යයකට ගැටුමේදී පක්ෂපාති ආකාරයට හෝ කවර හෝ රාජ්‍යයකට පීඩාවක් ගෙනදෙන ආකාරයේ කටයුතු කරන්න ඉඩදෙන්නේ නැහැ. එ තමයි අපේ ස්ථාවරය. ඒ නිසා ගැටුම ආරම්භ වූ මොහොතේම අපි ගනු ලැබූ ක්‍රියාමාර්ග අපි කරනු ලැබූ ප්‍රකාශයන් මේ සියල්ල මේ ස්ථාවරය මත පදනම්ව තමයි අපි කටයුතු කරමින් තිබෙන්නේ. ඒ අනුව තමයි ඉරානයේ නෞකාවන් දෙකක් පිළිබඳව ප්‍රශ්නය මතුවී තිබෙන්නේ එහිදීත් අපි අනුගමන කරමින් තිබෙන්නේ මධ්‍යස්ථභාවය.
ඒ වගේම ජාතියක් සහ රාජ්‍යයක් ලෙස කිසිසේත්ම මධ්‍යස්ථාභාවය ආරක්ෂාකරන ගමන් මුනුෂත්වය අපි අංක එකට තියෙනවා. ඒ නිසා අපි කිසිසේතම පැකිලෙන්නේ නැහැ මනුෂත්වය ආරක්ෂා කර ගැනීම සඳහා, මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග තිබෙනවානම් ඒ ක්‍රියාමාර්ග ගැනීමට අපි කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ. මම හිතනවා එය තමයි රාජ්‍යයකට ගතයුතු ඉතාමත් හොඳම ප්‍රතිපත්තිය. අපි ඒ ප්‍රතිපත්තිවල ඉදගෙන කටයුතු කරනවා.”







