රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා විසින් සංවිධානය කරන ලද “රාජකීය සිංහල අලුත් අවුරුදු උත්සවය” මගින් සිංහල සංස්කෘතියට සහ හෙළ උරුමයන්ට නිගා කර ඇති බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ජෝතිර්වේදීන්ගේ විද්වත් කමිටුව සහ සිහල ආරක්ෂක සන්ධානය එක්ව මෙම පැමිණිල්ල සිදු කරන ලදී.
තරුණියන්ගේ කිහිල්ල යට රඳවන ලද බියර් බෝතල්වලින් තරුණයන්ට බීමට සැලැස්වීම සහ උදරය මත තැබූ බනිස් කෑමට සැලැස්වීම වැනි අශෝභන ක්‍රියා මෙහිදී ජාතික ක්‍රීඩා ලෙස හුවා දක්වා ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.
මෙවැනි ක්‍රියාවන් මගින් සිංහල සංස්කෘතියට බරපතළ හානියක් සිදුව ඇති බවත්, මේ පිටුපස සිටින රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳව පුළුල් විමර්ශනයක් අවශ්‍ය බවත් ජෝතිර්වේදීන්ගේ විද්වත් කමිටුවේ ජාතික සංවිධායක රවිශංක සේනානායක මහතා ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාව යුනෙස්කෝව සමඟ ඇති කරගෙන තිබෙන ප්‍රඥප්තීන්ට අනුව ද මෙය බරපතළ වරදක් බව රවිශංක සේනානායක මහතා පෙන්වා දෙයි.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු සඳහන් කර ඇත්තේ ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන බවයි.
මෙම අවස්ථාවට ජෝතිර්වේදීන්ගේ විද්වත් කමිටුවේ ජාතික සංවිධායක රවිශංක සේනානායක මහතා සහ සිහල ආරක්ෂක සන්ධානයේ සභාපති සූරිය සිද්ධ රත්නායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.








