අද අපි වැසිකිළියක් භාවිත කරන විට ජල සැපයුම, අපද්‍රව්‍ය බැහැර කිරීම, නළ පද්ධති සහ පිරිසිදුකම වැනි කරුණු ගැන විශේෂයෙන් සිතන්නේ නැහැ. ඒ සියල්ල නූතන ජීවිතයේ සාමාන්‍ය පහසුකම් බවට පත්වෙලා. එහෙත් වසර දහස් ගණනකට පෙර මෙරට ජීවත් වූ අපේ මුතුන්මිත්තන් මේ ගැටලු සඳහා ඉතාමත් ක්‍රමානුකූල සහ බුද්ධිමත් විසඳුම් භාවිත කළ බව පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් හෙළි වී තිබෙනවා.
විශේෂයෙන් අනුරාධපුරයේ අභයගිරි විහාර සංකීර්ණය, පොළොන්නරුවේ බද්ධසීමාපාසාදය සහ ආලාහන පිරිවෙන ආශ්‍රිතව හමුවී ඇති පැරණි වැසිකිළි හා මූත්‍රාගාර පද්ධති, එදා ශ්‍රී ලාංකිකයන් සනීපාරක්ෂාව සහ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ලබාගෙන තිබූ දැනුමේ විශාලත්වය පෙන්වා දෙනවා.
අභයගිරි විහාර සංකීර්ණයේ තිබූ ඇතැම් වැසිකිළි නේවාසික ගොඩනැගිලිවලින් වෙන්ව ඉදිකර තිබූ අතර, තවත් පද්ධති නේවාසික ස්ථාන ආසන්නයේම ඉතා සැලසුම් සහගතව නිර්මාණය කර තිබුණා. එයින් පැහැදිලි වන්නේ වැසිකිළියක් ඉදිකිරීමේදී පරිසරය, භාවිතය සහ සනීපාරක්ෂාව යන කරුණු පිළිබඳව ඔවුන් සැලකිලිමත් වූ බවයි.
වඩාත් පුදුමයට කරුණක් වන්නේ මූත්‍රා බැහැර කිරීම සඳහා භාවිත කළ තාක්ෂණික ක්‍රමවේදයයි. ඇතැම් මූත්‍රාගාරවලින් පිටවන දියර ටෙරාකොටා හෙවත් පිළිස්සූ මැටිවලින් සාදන ලද නළ ඔස්සේ විශේෂිත වළවල් වෙත ගෙන ගොස් තිබෙනවා.
අභයගිරි ප්‍රදේශයේ හමුවන ඇතැම් මූත්‍රා වළවල් තුළ විවිධ ප්‍රමාණයේ පතුල රහිත මැටි භාජන එකිනෙක මත තබා තිබූ බව සඳහන් වෙනවා. එම භාජන තුළ වැලි, හුණු සහ අඟුරු වැනි ද්‍රව්‍ය යොදා දියර පෙරීමේ ක්‍රියාවලියක් සිදුකර තිබූ බවට පර්යේෂණවලින් සාක්ෂි ලැබී තිබෙනවා. අද අප භාවිත කරන අපද්‍රව්‍ය පෙරීමේ සංකල්පවලට සමාන අදහසක් එදාද ඔවුන් ප්‍රායෝගිකව භාවිත කර තිබීම සැබවින්ම විශ්මයජනකයි.
පොළොන්නරුවේ බද්ධසීමාපාසාදය ආශ්‍රිත වැසිකිළි පද්ධතිවලද අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ දියුණු සැලසුමක් දැකගත හැකියි. ජලය සහ මූත්‍රා ටෙරාකොටා නළ මගින් එක් වළකට යොමු කරද්දී, මල අපද්‍රව්‍ය වෙනත් වළකට යොමු කර තිබුණා. එනම් අපද්‍රව්‍ය සියල්ල එකට එකතු නොකර වෙන්කර කළමනාකරණය කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.
ආලාහන පිරිවෙන ආශ්‍රිතවද ජලය පොළොව තුළට පහසුවෙන් අවශෝෂණය වන ආකාරයට විශේෂයෙන් සකස් කළ වළවල් භාවිත කළ බවට සාක්ෂි හමුවී තිබෙනවා. මෙවැනි ක්‍රම මගින් පරිසරයට සිදුවිය හැකි බලපෑම අවම කරමින් අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමයක් එදා භාවිත වූ බව පෙනී යනවා.
එදා වැසිකිළි නිර්මාණය කර තිබුණේ ප්‍රයෝජනවත්කම ගැන පමණක් සිතා නොවීමත් විශේෂත්වයක්. පුරාවිද්‍යාත්මක පර්යේෂණවලින් හමුවන ඇතැම් ගල් වැසිකිළි ආසන වටා අලංකාර වැල් රටා ඇතුළු කැටයම් දක්නට ලැබෙනවා. එමෙන්ම ජල භාජනයක් තැබීම සඳහා ගල තුළම විශේෂ ස්ථානයක් සකස් කර තිබූ අවස්ථාද හමුවී තිබෙනවා.
අනුරාධපුරය, පොළොන්නරුව සහ සිගිරිය වැනි පුරාණ නගරවලට අමතරව රාජගල වැනි ආරාම සංකීර්ණවලින්ද ජල නිකාසන, භූගත නළ පද්ධති සහ සනීපාරක්ෂක පහසුකම් පිළිබඳ සාක්ෂි හමුවී තිබෙනවා. ඇතැම් භාවනා ආරාමවල ප්‍රධාන ගොඩනැගිලි සමඟ සම්බන්ධ කර ඉදිකළ වැසිකිළි තිබූ බවටද තොරතුරු සඳහන් වෙනවා.
මේ සියල්ල එකට ගත්විට පෙනී යන්නේ අපේ මුතුන්මිත්තන් වැසිකිළියක් යනු හුදෙක් මිනිස් අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයක් ලෙස පමණක් නොසැලකූ බවයි. ජල කළමනාකරණය, අපද්‍රව්‍ය වෙන් කිරීම, පෙරීම, භූගත නළ පද්ධති, පරිසරයට ගැළපෙන සැලසුම් සහ කලාත්මක නිර්මාණශීලීත්වය එකට එක්කරමින් ඔවුන් ඉතා දියුණු සනීපාරක්ෂක පද්ධති නිර්මාණය කර තිබුණා.
අද නවීන තාක්ෂණය පිළිබඳ අපි කොතරම් ආඩම්බර වුණත්, වසර දහස් ගණනකට පෙර අපේම භූමියේ ජීවත් වූ මිනිසුන් සතුව තිබූ ඉංජිනේරු හා පරිසර දැනුම දෙස නැවත හැරී බැලීම වටිනවා.
අපේ ඉතිහාසය කියන්නේ පුරාවිද්‍යාත්මක නටබුන් කිහිපයක් පමණක් නොවෙයි…
අදටත් අපව පුදුම කරවන දැනුමෙන් පිරුණු ශිෂ්ටාචාරයක කතාවක්.







