ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ නායක සහ දක්ෂ ගෝල් රකින්නෙකු වන සුජාන් පෙරේරා ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ.
දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් රට වෙනුවෙන් කැපවීමෙන් හා අභිමානයෙන් ක්‍රීඩා කළ සුජාන් පෙරේරා සිය විශ්‍රාම ගැනීමේ තීරණය නිල ලිපියක් මගින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා වෙත දැනුම් දී ඇත.
එම ලිපිය මගින් සිය ක්‍රීඩා දිවිය පුරා තමන් වෙත ලබාදුන් සහයෝගය සහ දිරිගැන්වීම වෙනුවෙන් සභාපතිවරයාට සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට සිය කෘතඥතාව ද පළ කර තිබේ.
රට වෙනුවෙන් දීර්ඝ කාලයක් සේවය කළ මෙම නායකයාගේ කැපවීම සහ දායකත්වය අගය කිරීම සඳහා ලබන වසරේ මාර්තු මාසයේදී කොළඹදී පැවැත්වෙන ජාත්‍යන්තර පාපන්දු තරගයක් අතරතුර විශේෂ උපහාර උත්සවයක් සංවිධානය කරන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති කාර්යාලය ප්‍රකාශ කර සිටියේය.
සුජාන් පෙරේරාගේ විශ්‍රාම දිවියට සුබ පැතුම් එක් කළ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා, ඔහුට සාර්ථක සහ සතුටින් පිරි විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කර තිබේ.
එමෙන්ම තමන් සතු අත්දැකීම් සහ දැනුම අනාගත ශ්‍රී ලාංකික ගෝල් රකින්නන් වෙත ලබාදීම සඳහා ගෝල් රකින්නන් පුහුණු කිරීමේ ක්ෂේත්රයට පිවිසෙන ලෙස ද සභාපතිවරයා ඔහුට යෝජනා කර ඇත.








