ලොව ප්‍රකට සමාගම් පරදවා බිලියන 25ක අන්දමන් බලාගාර කොන්ත්‍රාත්තුව ශ්‍රීලංකාවේ ලක්දනවි සමාගමට !

839

ශ්‍රී ලංකාවේ LTL හෝල්ඩිංග්ස් අනුබද්ධ ලක්දනවි සමාගම ඉන්දියාවේ අන්දමන් දූපතේ මෙගාවොට් 57ක විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 75ක (ශ්‍රී ලංකා රුපියල් බිලියන 25ක් පමණ) දැවැන්ත කොන්ත්‍රාත්තුව දිනා ගැනීමට සමත්ව තිබේ.

මෙමගින් ශ්‍රී ලාංකේය ඉංජිනේරු විශේෂඥතාවට ඉන්දීය හවුල්කරුවන් සමඟ එක්වීමට මග විවර වන අතර, ඉන්දු–ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාවටද නව මානයක් එක්කර ඇත.

ඉන්දීය රජයට අයත් NTPC Limited හි පූර්ණ අනුබද්ධ සමාගමක් වන NTPC Vidyut Vyapar Nigam Limited (NVVN) කැඳවූ ජාත්‍යන්තර තරගකාරී ටෙන්ඩර් (ICB) ක්‍රියාවලියේදී අවම ලංසුව (L1) ඉදිරිපත් කරමින් මෙම ව්‍යාපෘතිය හිමිකර ගැනීමට ලක්දනවි සමාගම සමත් විය.

ඊට අදාළ ඉංජිනේරු, ප්‍රසම්පාදන සහ ඉදිකිරීම් (EPC) පූර්ණ වගකීම් සහිත (turnkey) ගිවිසුම පසුගිය 2026 සැප්තැම්බර් 21 වන දින ඉන්දියාවේ නොයිඩා හි NTPC කාර්යාල සංකීර්ණයේදී අත්සන් තැබිණි. NVVN, ලක්දනවි සහ LTL හෝල්ඩිංග්ස් ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සිදු වූ මෙම අවස්ථාවේදී, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ අනාගත සහයෝගීතාව පිළිබඳව ද සාකච්ඡා කර ඇත.

අන්දමන් දූපත් වල පෝට් බ්ලෙයාර් ප්‍රදේශයේ හෝප් ටවුන් හි ඉදිවන මෙම බලාගාරයෙන් අන්දමන් දූපතේ විදුලි යටිතල පහසුකම් ශක්තිමත් කිරීමටත්, LNG යටිතල පහසුකම් හරහා දිගුකාලීන බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීමටත්, අනාගත ආර්ථික සංවර්ධනයට පහසුකම් සැලසීමටත් අපේක්ෂා කරයි. මෙම බලාගාරය සඳහා වන විදුලි ජනක යන්ත්‍ර ෆින්ලන්තයේ Wärtsilä Corporation සමාගම විසින් සපයනු ලබන අතර, සමස්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම ලක්දනවි ඉංජිනේරු කණ්ඩායම විසින් දරනු ලබයි.

LTL හෝල්ඩිංග්ස් හි අනුබද්ධ සමාගමක් ලෙස 90 දශකයේ අග භාගයේ මෙරට ස්ථාපිත ලක්දනවි සමාගමට ස්වාධීන බලශක්ති නිෂ්පාදකයෙකු (IPP) ලෙසත්, විදුලි උත්පාදනයේත්, තාප සහ පුනර්ජනනීය ව්‍යාපෘති සඳහා මෙහෙයුම් හා නඩත්තු (O&M) සේවා සැපයීමේත් දශක ගණනාවක පළපුරුද්දක් ඇත. බංග්ලාදේශය, නේපාලය සහ මාලදිවයිනේ ද සාර්ථකව ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති මෙම සමාගම, නව ගිවිසුමත් සමඟ ඉන්දියාවේ විදුලි බලාගාර EPC වෙළෙඳපොළට පිවිසෙමින් සිය කලාපීය ව්‍යාප්තිය තවදුරටත් පුළුල් කරගෙන ඇත.

විදුලි උත්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීමේ නියැලෙන LTL හෝල්ඩිංග්ස් ශ්‍රී ලංකාවේ විදුලි බල අංශයේ විශාලතම සමාගමයි. ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සහ යුරෝපීය සමාගමක හවුල් ව්‍යාපාරයක් ලෙස ආරම්භ වූ LTL හෝල්ඩිංග්ස් හි කොටස්වලින් 35%ක් හිමි වන්නේ බලශක්ති අමාත්‍යාංශය යටතේ පවතින, ශ්‍රී ලංකා රජයට අයත් National Transmission Network System Provider (Pvt) Ltd ආයතනයටය.

LTL සමූහයේ කළමනාකාරීත්වය සමඟ පැවති හමුවකදී ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා, මෙම ජයග්‍රහණය පිළිබඳව රජයේ සතුට හා ප්‍රශංසාව පළ කර ඇත. ඉන්දියාව වැනි විශාල හා අතිශයින් තරගකාරී වෙළෙඳපොළක ප්‍රධාන පෙළේ යටිතල පහසුකම් කොන්ත්‍රාත්තුවක් ශ්‍රී ලාංකික සමාගමකට හිමිවීම ද අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්ව ඇත.

මෙමඟින් ලක්දනවි සමාගම ලද ජයග්‍රහණයේ ජාතික වැදගත්කම සහ ශ්‍රී ලාංකික සමාගම් තම සුවිශේෂී විශේෂඥතාව ජාත්‍යන්තර වෙළෙඳපොළවලට සාර්ථකව රැගෙන යාමේ වැදගත්කම තහවුරු වෙයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ලක්දනවි සහ LTL හෝල්ඩිංග්ස් හි ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු නුහුමාන් මරික්කාර් මහතා සඳහන් කළේ, මෙය ලක්දනවි සමාගමට සුවිශේෂී සන්ධිස්ථානයක් මෙන්ම සමස්ත ශ්‍රී ලාංකික ඉංජිනේරු ක්ෂේත්‍රයටම ලැබුණු කැපී පෙනෙන ජයග්‍රහණයක් බවයි.

සමාගමේ තාක්ෂණික හැකියාවන්, කණ්ඩායමේ කැපවීම සහ දේශීය වෙළෙඳපොළේ මෙන්ම විදේශයන්හි ද සංකීර්ණ විදුලි යටිතල පහසුකම් ව්‍යාපෘති සාර්ථකව නිම කිරීමට ඇති හැකියාව කෙරෙහි තබා ඇති විශ්වාසය මෙම ගිවිසුමෙන් මනාව පිළිබිඹු වන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය. තවද ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට NVVN සමඟ සමීපව කටයුතු කිරීමට සමාගම බලාපොරොත්තු වන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දිගුකාලීන ආර්ථික සබඳතාවල ප්‍රායෝගික පිළිබිඹුවකි. බොහෝ විට ඉන්දු–ශ්‍රී ලංකා සබඳතා දැකගන්නට ලැබුණේ ශ්‍රී ලංකාවේ ඉන්දීය ආයෝජන, සංවර්ධන ආධාර සහ යටිතල පහසුකම් ඔස්සේය. එහෙත් මෙමගින් අවස්ථා දෙපාර්ශ්වයටම තිබෙන බවත්, ශ්‍රී ලාංකේය සමාගම් ඒවා කැපවීමෙන් ප්‍රයෝජනයට ගත යුතු බවත් තහවුරු කර ඇත.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!