කොන්දේසි ඉටු කර නෑ…මීලග වාරිකය ප‍්‍රමාදයි…! – IMF ශ‍්‍රී ලංකා ප‍්‍රධානී

admin

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා සිදුකළ සිව්වැනි සමාලෝචනයට විධායක කමිටු අනුමැතිය ලැබී එය සම්පූර්ණවීමට අවම වශයෙන් මාස කීපයක් ගතවනු ඇතැයි එම අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

කාර්ය මණ්ඩල එකඟතාවකට එළැඹීම මුල් පියවර පමණක් බවත් ඉන් පසුව ප්‍රතිපත්තිමය එකඟතාවකට පැමිණීම මෙන්ම පෙර එකඟ වූ ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ යුතු බවත් පැපජෝර්ජියෝ මහතා පැවැසුවේය.

සිවුවැනි සමාලෝචනයට විධායක කමිටු අනුමැතිය ලැබීමට නම් පියවර දෙකක් සම්පූර්ණ කළ යුතු බවද පැපජෝර්ජියෝ මහතා ප්‍රකාශ කළේය.

එහි පළමු පියවර වන්නේ විදුලිය උත්පාදනය කිරීමට වැයවන මුදලට සරිලන විදුලිය ගාස්තුවක් හඳුන්වා දීමට සහ ස්වයංක්‍රීය විදුලි මිල ගැළපුම් යාන්ත්‍රණයේ නිසි ක්‍රියාකාරිත්වය සහතික කිරීමට පෙර එකඟ වූ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම බවත් දෙවැනි පියවර වන්නේ බහුපාර්ශ්වික හවුල්කරුවන්ගේ කැප වූ මූල්‍ය දයකත්වයන් සහ සිය ණය ප්‍රතිව්‍යුහගතකිරීමෙහිලා ප්‍රමාණවත් ප්‍රගතියක් ලබාගෙන ඇති බව තහවුරු කෙරෙන මූල්‍ය සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීම බවත් ඔහු පැවැසුවේය.

ශ්‍රී ලංකාවට විදුලිය ගාස්තුව වැඩි කළ යුතු බවට නිශ්චිත දිනයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදී නැතත් හැකි ඉක්මනින් විදුලිය ගාස්තුව පිරිවැයට සරිලන ලෙස ඉහළ දමන ලෙස මෙරට රජයට කීප වතාවක් දැනුම් දී තිබෙන බවත් එය බොහොම හොඳින් රජය තේරුම් ගත් බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානි එවන් පැපජෝර්ජියෝ මහතා ප්‍රකාශ කළේය.

දැන් පවතින විදුලිය ගාස්තුවෙන් කිසිසේත් විදුලිය උත්පාදනය කිරීමට යන වියදම ආවරණය නොවන බවද ඔහු පැවැසුවේය. නැවත වරක් ලංකා විදුලිබල මණ්ඩලය රජයට බරක් නොවිය යුතු බව ද ඔහු ප්‍රකාශ කළේය.

විදුලි උත්පාදනයට වැයවන මුදලට සරිලන ගාස්තු ක්‍රමයක් හඳුන්වා දීමේ ව්‍යුහාත්මක කඩ ඉම ශ්‍රී ලංකාව තවමත් පසුකර නොමැති බවත් ඒ හැර අප්‍රේල් මස අවසන් වන විට පසු කළ යුතු ව්‍යුහාත්මක කඩ ඉම් සියල්ල පසුකර හෝ ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කර තිබෙන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අප්‍රේල් මාසයේදී සිදු කළ යුතු විදුලිය ගාස්තු සංශෝධනය ද ප්‍රමාද වී තිබෙන බව ද පැපජෝර්ජියෝ මහතා පැවැසුවේය.

සිව්වැනි සමාලෝචනය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා මාර්ගගතව මාධ්‍ය හමුව පැවැත්විණි.

ඉහත පියවරයන් සම්පූර්ණ කිරීමෙන් පසු කාර්ය මණ්ඩල එකඟතාවට විධායක කමිටු අනුමැතිය ලැබෙනු ඇති බවත් එවිට පස්වැනි වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 344 ක මුදලක් ශ්‍රී ලංකාවට මුදා හැරෙනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය. ඒ සමග ශ්‍රී ලංකාවට මුදා හැර ඇති මුළු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 1722 ක්වනු ඇතැයි ද එවන් පැපජෝර්ජියෝ මහතා ප්‍රකාශ කළේය.

විමුක්ති එස්. රුද්‍රිගු

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *