BREAKING NEWS
Search

මහින්දගේ නිල නිවස හදන්න කෝටි 119ක ඉන්වොයිස – ඉන් කෝටි 55ක වවුචර බොරු..!

2373

සීමාසහිත ලංකා ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාව විසින් පස්වැනි විධායක ජනාධිපති නිල නිවසේ අලුත්වැඩියා හා නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1,196.25ක් වටිනා ඉන්වොයිස් පත් නිකුත් කර තිබුණ ද මේ තුළ රුපියල් මිලියන 557.03ක වවුචර්පත් සාවද්‍ය ලෙස යොදා තිබූ බවට ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වී ඇත.

මෙමගින් සමාගමෙහි විකුණුම් අගය ද වැඩි කර දක්වා තිබූ බව ද විගණනය මගින් අනාවරණය කර ඇත. 2021 ඔක්තෝබර් 26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් මෙකී නිල නිවස අලුත්වැඩියා කිරීම සඳහා අනුමැතිය ලබා දී තිබුණි. අලුත්වැඩියා හා නඩත්තු කිරීමට අදාළව සමාගම විසින් රුපියල් මිලියන 639.22ක් වටිනා ඉන්වොයිස් 2024 මැයි මස 14 වැනිදා වන විට නිකුත් කර තිබුණි.

මෙම නිල නිවසේ නවීකරණ කටයුතු සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව, ගිවිසුම්ගතවීමක් නොමැතිව රුපියල් මිලියන 13.07ක මුදලක් ගෙවමින් ගෘහ නිර්මාණ ශිල්පීන් තෝරාගනු ගෙන තිබුණි.

ඔවුන්ගේ වාචික උපදෙස් මත ව්‍යාපෘතියට අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට ඔවුන් විසින් නම්කරනු ලැබූ සැපයුම්කරුවන් 16 දෙනකුගෙන් තරගකාරි මිල කැඳවීමකින් තොරව සංස්ථාවේ ගැනුම් ඇනවුම් මත මෙකී ව්‍යාපෘතියට භාණ්ඩ නිකුත් කර ඉන්වොයිස් කර තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

මේ පිළිබඳ ලංකා ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාව විසින් විගණනයට සඳහන් කර ඇත්තේ ආයතන මට්ටමින් තොරතුරු අනාවරණය කර ගැනීමට අභ්‍යන්තර විගණන අංශයට යොමු කර ඇති බවය.

ලලිත් චාමින්ද
Divaina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *