BREAKING NEWS
Search

මීළඟ පාප්වහන්සේ පත්කරන ආකාරය ගැන පැහැදිලි කිරීමක්..!

39

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීමෙන් අනතුරව මීළඟ පාප්වහන්සේ පත්කර ගන්න ආකාරය පිළිබඳව අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා විසින් පැහැදිලි කිරීමක් සිදුකළේය.

එහිදී ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා සඳහන් කර සිටියේ, ශුද්ධෝත්තම පාප්වහන්සේ කෙනෙක් ස්වර්ගස්ථ වූ විට වතිකානය විසින් දින හතරේ සිට දින හයක කාලසීමාවක දක්වා ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරන බවය.

එම ශෝක කාලයෙන් අනතුරුව පාප්වහන්සේගේ අවසන් කටයුතු සිදුකරන්නට කටයුතු කරනු ලබන බව ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා,

“සාමාන්‍යයෙන් ශුද්ධෝත්තම පාප්වහන්සේ කෙනෙකු ස්වර්ගස්ථ වුණාම එහි සියලු වැඩ කටයතු සිදුකරනු ලබන්නේ කාදිනල් කමලිංගෝ කියන…. මේක නාමයක්. පාප්වහන්සේ කෙනෙකු ස්වර්ගස්ථ වුණාම උන්වහන්සේගේ ප්‍රාණය නිරුද්ධ වුණා කියලා නිල වශයෙන් ප්‍රකාශ කරන්නේ ඒ කාදිනල් කමලිංගෝ. ඊළඟට සාමාන්‍යයෙන් චාරිත්‍රයක් තියෙනවා පාප්වහන්සේ කෙනෙකු පලඳින මුදුව මිටියකින් ගහලා එය විනාශ කරනවා. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් පාප්වහන්සේ කෙනෙක් විශේෂ ලියවිල්ලකට අත්සන් කරලා එය සීල් කරන්නේ තමන්ගේ මුදුවේ තිබෙන එම සලකුණේ. එතකොට ඒ නිසා තමයි මින් පස්සේ ඒ සලකුණ භාවිතා නොකරන්නට තමයි ඒ මුද්ද කඩා බිඳ දමන්නේ”

මේ අතර ශුද්ධෝත්තම පාප්වහන්සේ අවමගුල් පිළිවෙතට සහභාගී වෙන්නට මෙරට රාජ්‍ය නායකයාටද හැකියාවක් ඇති බව ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම ශුද්ධෝත්තම පාප්වහන්සේ අවමගුල් පිළිවෙත සඳහා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අනිවාර්යයෙන්ම සහභාගී වන බව ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පැවසීය.

මේ අතර නව පාප්වහන්සේ කෙනෙකු තෝරා පත් කර ගැනීම අවස්ථාව සඳහා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට සුදුසුකම් ඇති බවත් උන්වහන්සේ ඒ සඳහා අනිවාර්යෙන්ම සහභාගී වන බවත් අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා වැඩිදුරටත් පැවසීය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *