උදාවූ 2026 නව වසරේ දරුවන්ට හොඳ සෞඛ්‍ය පුරුදු හුරුකරවීමෙන් ඔවුන්ව රෝගාබාධවලට ගොදුරුවීමෙන් වළක්වා ගත හැකි බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය.
කුඩා දරුවන්ට වසර 2ක් යනතුරුම මව්කිරි ලබාදීම ඉතා සුදුසු බව ද හෙතෙම කීය. වයස අවුරුදු 3-4 දක්වා ජංගම දුරකථන කුඩා දරුවන්ට ලබා නොදෙන ලෙස ඒ මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.
තවදුරටත් කතා කළ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මෙසේද කීය.
“අවුරුදු තුන හතර වෙනකම් දරුවන්ට ෆෝන් දෙන්න එපා. එහෙම දුන්නොත් ඔවුන්ගේ ඇස් පෙනීමේ දුර්වලතා මතු වෙන්න පුළුවන්. ෆෝන් එකට කුඩා කාලයේදීම දරුවන් ඇබ්බැහි වීමෙන් ඔවුන්ගේ කථනය වර්ධනය වීම දුර්වල වෙනවා. “කුඩා දරුවන් නිවසේ ඉන්න කොට නිවසේ ඉඳන් වැඩිහිටියන් දුම්පානය කරන්න එපා. එලෙස දුම් බිව්වොත් වැඩිහිටියන්ට පිළිකාව හැදෙනවා විතරක් නොවෙයි දරුවන්ට ළමා හතිය වැළඳීමේ අවදානමක් තිබෙනවා.
කුඩා දරුවන්ට අවුරුදු 2ක් යනතුරු සීනි දෙන්න එපා. ඒ වගේම අවුරුද්දක්වත් යනතුරු කුඩා දරුවන්ට ලුණු දෙන්න එපා. දරුවන්ට පලතුරු ආහාරයට දුන්නට කමක් නැහැ.
ඒ වගේම කුඩා දරුවන් උදේ 9ත් 11ත් අතර කාලයේ හිරුඑළියට නිරාවරණය කරවන්න.
කුඩා දරුවන්ට පිරිසිදු ආහාර, උණුකර නිවාගත් ජලය දෙන්න. ඒ වගේම දරුවන්ට ව්‍යායාම් කිරීම සඳහා උදේ හවස හුරු කරවන්න. “ඒ වගේම දරුවන්ගේ කෑම පිඟානට බත් ටිකයි එළවළු වැඩියෙන් කෑමට හුරු කරවන්න. නිතර තමන්ගේ නිවාස, පාසල, ඉදිකිරීම් ස්ථාන සුද්ද කර පිරිසිදුව තබා ගන්න. දරුවන්ව ඩෙංගුවලින් මුදා ගන්න. නිතර තමන් ඉන්න තැන් පිරිසිදුව තියාගන්න කටයුතු කරන්න.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය







