මේක නිකන් ෆිල්ම් එකක වගේ සීන් එකක් වුණාට එල් සැල්වදෝරයේ මේක දැන් ඇත්තක් වෙලා ඉවරයි. දශක ගණනාවක් තිස්සේ ලෝකයේ වැඩිම අපරාධ සිද්ධ වෙච්ච රට අද ලෝකයේ ආරක්ෂිතම රටක් බවට පත් කරපු ඒ අමුතුම හිරගෙදර ඇතුළේ කතාව අද මම ඔයාලට කියන්නම්. මේක කියවද්දී ඔයාට හිතෙයි අපරාධකාරයෝ මර්දනය කරන්න නම් කොන්ද පණ තියෙන නායකයෙක් කොච්චර වටිනවද කියලා.
මේ සේරම වෙනස් කළේ ඒ රටේ ජනාධිපති නයීබ් බුකෙලේ. එයා පලස්තීන සම්භවයක් තියෙන අරාබි පවුලක කෙනෙක්. එයාගේ තාත්තා එල් සැල්වදෝරයේ ප්‍රධාන ආගමික නායකයෙක් විදිහටත් වැඩ කරලා තියෙනවා. 2019 ජනාධිපති වුණාට පස්සේ බුකෙලේ මුළු රටම උඩුයටිකුරු කළා. විශේෂයෙන්ම එයා 2022දී හදිසි නීතිය දාලා එක පාරම අපරාධකාරයෝ 64,000ක් විතර අත්අඩංගුවට ගත්තා. ඒ අයට ඉන්න හදපු අලුත්ම ප්ලේස් එක තමයි මේ සීකොට් (CECOT) කියන යෝධ හිරගෙදර. මේක හදලා තියෙන්නේ නගරයෙන් මෑත හුදකලා ප්‍රදේශයකයි.
මේ හිරගෙදර ඇතුළට කෙනෙක් ඇතුල් වෙනවා කියන්නේ හරියට එයාර්පෝට් එකක ඉහළම ආරක්ෂාව පහු කරනවා වගේ වැඩක්. ගේට්ටු ගණනාවක පරීක්ෂාවන්, ශරීර ස්කෑනර්ස් විතරක් නෙවෙයි සෝස් පවා ගලවලා බලන දරුණු පරීක්ෂා කිරීම් මෙහේ තියෙනවා. මේක වැරදිකාරයෝ හදන පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් නෙවෙයි, මේක තනිකරම මර්දනය කරන තැනක්. අපරාධකාරයෝ ආවම එයාලගේ ඇඟිලි සලකුණු සහ මූණ හඳුනාගන්න (Facial recognition) ටෙක් එක පාවිච්චි කරනවා මොකද ගොඩක් අයට හරියට අයිඩී එකක්වත් නෑ.
මේකේ තියෙන ආරක්ෂාව කොච්චරද කියනවා නම්, මීටර් 15ක් උස කොන්ක්‍රීට් තාප්ප සහ වොච් ටවර්ස් 19ක් මේක වටේට තියෙනවා. සොල්දාදුවෝ 600ක් සහ පොලිස් නිලධාරීන් 250ක් නිරන්තරයෙන්ම මුර සේවා කරනවා. මෙතනින් පැනලා යනවා කියන එක හීනයක් විතරයි. අපරාධකාරයෙක් මේක ඇතුළට එක පාරක් ආවොත් ආයේ කවදාවත් එළියට යන්න ලැබෙන්නේ නෑ. එයාලගේ පවුල්වල අයටවත් මෙහේ එන්න අවසර නෑ. ඉතින් ඒ අයගේ මුළු ජීවිතයම මේ තාප්ප හතර ඇතුළේ තමයි ගෙවන්න වෙන්නේ.
හිරගෙදර ඇතුළේ ලයිට් කවදාවත් නිවන්නේ නෑ. පැය 24ම ලයිට් දාලා තියෙන්නේ. එතකොට අපරාධකාරයෝ දන්නේ නෑ දැන් දවල්ද රෑද කියලා. ඒකෙන් එයාලගේ මානසිකත්වය මර්දනය කරනවා වගේම ගාඩ්ස්ලාට එයාලව නිරීක්ෂණය කරන්න ලේසියි. එක සෙල් එකක සියයක් විතර ඉන්නවා හැබැයි හැමෝටම බෙඩ් එකක්වත් නෑ. තියෙන්නේ බෙඩ් 80ක් විතරයි. සීතලෙන් බේරෙන්න රෙද්දක්වත් ලැබෙන්නේ නෑ. හැමෝම අඳින්නේ එකම විදිහේ සුදු ඇඳුමක්. දවසට විනාඩි 30ක් විතරයි සෙල් එකෙන් එළියට එන්න දෙන්නේ තමන්ගේම බර පාවිච්චි කරලා ව්‍යායාම කරන්න විතරයි.

මෙහේ ඉන්නේ ලෝකේ දරුණුම ගැන්ග් දෙකක් වෙන එම් එස් 13 (MS-13) සහ බැරියෝ 18 (Barrio 18) කියන සෙට් එක. මේ ගැන්ග් දෙක කලින් එළියේ ඉද්දි එකිනෙකා මරා ගත්තට දැන් ඉන්නේ එකම හිරගෙදර එකම සෙල් එකේ. එයාලගේ ඇඟ පුරාම තියෙන ටැටූ වලින් තමයි ලේසියෙන්ම අඳුරගන්නේ. එක අපරාධකාරයෙක් 30 දෙනෙක් විතර මරපු කෙනෙක්. එයා කියන්නේ එයා දැන් ඒ ගැන පසුතැවෙනවා කියලා. හැබැයි ඉතින් කරපු අපරාධ වලට දඬුවම් විඳින්නම වෙනවා. තව කෙනෙක් අහිංසක ක්‍රීඩිකාවකගේ ජීවිතය විනාශ කරපු කෙනෙක්. මේ වගේ දරුණු මිනිස්සුන්ව බුකෙලේ එකම තැනකට ගෙනාවා.
මේකේ වැඩ කරන ගාඩ්ස්ලා තමන්ගේ මූණ වහගෙන ඉන්නේ අපරාධකාරයෝ එළියේ ඉන්න අය ලවා පවුල්වල අයට කරදර කරයි කියන බයට. හැබැයි ඒ ගාඩ්ස්ලාට බිල්ඩින් එක ඇතුළේ ජිම්, සැපට නිදාගන්න කාමර වගේ පහසුකම් දීලා තියෙනවා මොකද එයාලා ඉන්නේ මාරම රිස්ක් එකක නිසා. එයාලට දවස් පහක් වැඩ කරලා දවස් පහක් නිවාඩු ලැබෙනවා. පාලකයෝ බලන්නේ අපරාධකාරයෝ ගැන නෙවෙයි, එයාලව පාලනය කරන නිලධාරීන්ගේ පහසුව ගැනයි. අපරාධකාරයෝ බේරගන්න එන මානව හිමිකම් කතා වලට වඩා බුකෙලේට වැදගත් වුණේ අහිංසක මිනිස්සුන්ගේ ආරක්ෂාව විතරයි.
යම් හෙයකින් හිරගෙදර ඇතුළේ දඟලන්න හැදුවොත් සොලිටරි කන්ෆයින්මන්ට් (Solitary Confinement) නැත්නම් අඳුරු කාමරවල දවස් 15ක් හිර කරනවා. ඒ කාමරවලට ලයිට් එළියක්වත් වැටෙන්නේ නෑ. එතකොට කෑම දෙන්නේ කාමරේටමයි. දවසටම ලැබෙන්නේ බත් සහ බෝංචි විතරයි. මස් මාලු හීනයක් විතරයි. මෙන්න මේ වගේ දරුණු විනයක් තියෙන නිසා කවුරුත් නීතිය කඩන්න බයයි. ජනාධිපති බුකෙලේගේ මේ ක්‍රියාව නිසා එල් සැල්වදෝරය ලෝකයේ ආරක්ෂිතම රටක් වුණා. 2024දී එයාට 85%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබුණේ ඒ නිසයි.
දැන් පොඩ්ඩක් හිතමු අපේ ලංකාවට මේ වගේ සිස්ටම් එකක් ආවොත් මොකද වෙන්නේ කියලා. ඇත්තටම අපේ රටේ කුඩු ජාවාරම්කාරයෝ, පාතාලේ සෙට් එකට මේ වගේ ට්‍රීට්මන්ට් එකක් දුන්නොත් ලොකු වෙනසක් වෙයි. ලංකාවේ හිරගෙවල් ඇතුළේ ඉඳන් කුඩු බිස්නස් කරන එක, ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන එක මේ වගේ සිස්ටම් එකකින් සම්පූර්ණයෙන්ම නවත්තන්න පුළුවන්. දේශපාලකයෝ ගාව තියෙන බලය පාවිච්චි කරලා අපරාධකාරයෝ බේරගන්න එක නැති වෙලා, නීතිය හැමෝටම එකම විදිහට ක්‍රියාත්මක වුණොත් ලංකාවත් ආසියාවේ ආරක්ෂිතම රට වෙයි.

හැබැයි ඒකට බුකෙලේ වගේ කොන්ද පණ තියෙන නායකයෙක් වගේම අපේ රටේ මිනිස්සුන්ගේ මානසිකත්වයත් වෙනස් වෙන්න ඕනේ. අපරාධකාරයෝ බේරගන්න එන අයට ඉඩක් නැති වෙන්න ඕනේ. ලංකාවේ අපිටත් තියෙන්නේ අපරාධකාරයන්ට වඩා අහිංසක මිනිස්සු ගැන හිතන පාලනයක්. එල් සැල්වදෝරයේ ජනාධිපති පෙන්නුවේ ඕනෑම දරුණු රටක් අවංක උත්සාහයකින් ආරක්ෂිත තැනක් කරන්න පුළුවන් කියලා. ඔයාලා හිතන්නේ ලංකාවටත් මේ වගේ දරුණු හිරගෙවල් සහ දැඩි නීති පද්ධතියක් අවශ්‍යද? අපේ රටේ පාතාලේ මේ වගේ හිර කරලා දැම්මොත් රට හැදෙයි කියලා ඔයා හිතනවාද?
ඔබේ අදහස පහළින් Comment කරන්න👇







