BREAKING NEWS
Search

මීළඟ පාප් වහන්සේ තෝරා පත්කර ගත් බව ලොවට කියන වතිකානයේ දුම් කවුළුව ගැන ඔබ දන්නවද ? මෙන්න ඔබ නොදත් කතාව…

445

ඉදිරි දින කිහිපය තුළ ලෝකයා එක්තරා විශේෂිත දුම් කවුළුවක් දෙස බලාගෙන සිටින්නා වූ කාලයකි.

ලෝකයේ මොන තරම් යුද්ධ, ගැටුම් සහ දේශපාලන පෙරළි පැවතියද ඒ සියල්ල අබිබවා යන්නා වූ පුවතක් වතිකන් රාජ්‍යයේ සිස්ටීන් දේවස්ථානයේ සවිකර ඇති මෙම දුම් කවුළුවෙන් නැඟෙන්නා වූ දුම සමඟ යාවී තිබීම මීට හේතුවයි.

කවුරු කවුරුත් මෙසේ බලා සිටින්නේ ලොව පුරා බිලියන 1.4ක් වූ කිතුනු ප්‍රජාවගේ නව නායකයා කවුදැයි බලා කියා ගැනීමටය. වතිකන් රාජ්‍යයේ නායකයා ලෙස අබිසෙස් ලබන්නා ඒ සුවිසල් කිතුනු ප්‍රජාවේ ආගමික ප්‍රධානියා හෙවත් නව ශුද්ධෝත්තම පාප් වහන්සේ බවට පත්වෙයි.

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගෙන් හිස් වූ පාප් පදවියට නව පාප්වරයකු තෝරා ගැනීම සඳහා සියලු කටයුතු සූදානම් වෙමින් පවතී. නව පාප් වහන්සේ ඡන්දයෙන් තේරී පත්වීමේ පණිවිඩය ලෝකයාට කියන දුම් කවුළුවද දින කිහිපයකට පෙර සිස්ටින් දේවස්ථාන මස්තකයේ සවි විය. මෙම 07 වැනිදා සිස්ටීන් දේවස්ථානයට ඇතුළු වන කාදිනල්වරුන් 133 දෙනකු ලෝකයාගෙන් සම්පූර්ණයෙන්ම හුදෙකලාව ලෝකයේ පවත්වන්නා වූ අතිශයින්ම රහසිගත ඡන්දය පවත්වනු ඇත.

මේ ලිපිය කුතුහලය දනවන එම ඡන්ද විමසීම සහ ඒ හා බැඳුණු අතීතය මෙන්ම චාරිත්‍ර විධි ආදිය සම්බන්ධයෙන් දැන ගැනීමට කුහුලෙන් සිටින ඔබ වෙනුවෙනි.

ධුරයේ සිටින පාප් වහන්සේ කෙනකු ස්වර්ගස්ථ වීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් පාප් තනතුර හිස් වූ අවස්ථාවක අනුප්‍රාප්තික පාප් වහන්සේ තෝරා ගැනීමට වතිකානුවට විශේෂිත වූ ක්‍රමවේදයක් පවතී. ඊට මුල් කාලයේ සිට පැවතෙන්නා වූ චාරිත්‍රයන් මෙන්ම පසුකාලීනව එක් වූ චාරිත්‍රයන්ද එක්ව පවතී. ලෝකයේ පවතින අත්‍යන්තයෙන්ම රහසිගත ඡන්ද විමසීමක් ලෙස මෙය හැඳින්වෙයි.

පාප් වහන්සේ කෙනකු ස්වර්ගස්ථ වීමෙන් පසු ඊළඟ පාප් වහන්සේ කෙනකු තෝරා ගැනීමේ කටයුතු ආරම්භ වන්නේ දින 15- 20ත් අතර කාලයකදීය. එය දෙවන ජුවාන් පාවුළු පාප් වහන්සේ විසින් 1996දී ලියන ලද්දා වූ අපෝස්තලික ව්‍යවස්ථාව (apostolic constitution) මඟින් පනවා 2013 වසරේදී දහසය වැනි බෙනඩික් පාප් වහන්සේ විසින් යාවත්කාලීන කරනු ලැබූ නියමයයි.

නව පාප් වහන්සේවරයකු තෝරා ගැනීමට ලොව පුරා සිටින කාදිනල්වරුන් වතිකානයට රැස් විය යුතු වෙයි. ඒ සඳහා යම් කාලයක් අවශ්‍ය බව සලකා අභාවප්‍රාප්ත පාප් වහන්සේගේ අවසන් කටයුතු නිමා වීමෙන් අනතුරුව සති දෙකක පමණ කාල පරාසයක් තබා ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව වතිකානයට පැමිණි කාදිනල්වරුන් “සාමාන්‍ය සභා” නමින් හැඳින්වෙන රැස්වීම්වලට සහභාගි වූහ. එවැනි රැස්වීම්වලදී ඔවුන් කුමනාකාරයේ නායකයකු ඉදිරි කටයුතු සඳහා තෝරා ගත යුතුද යන කාරණය මෙන්ම වත්මන් ලෝකයේ පවතින ප්‍රධාන ප්‍රශ්න වන කාලගුණ විපර්යාස, සංක්‍රමණික ප්‍රශ්න , සමලිංගික විවාහ ආදී ප්‍රශ්න වෙතද අවධානය යොමු කිරීමට ඔවුන්ට ඉඩකඩ සහ නිදහස ලැබෙයි.

මේ අතර ඊළඟ පාප් තනතුර සඳහා අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමට කැමැත්ත දක්වන කාදිනල්වරුන් හිටපු පාප් වහන්සේගේ ක්‍රියාපිළිවෙත තවදුරටත් කරගෙන යන්නේද, කතෝලික පල්ලිය තුළට පිළිගන්නා පිරිස වැඩි කරන්නේ කෙසේද, පූකවරයට ඇති සීමා අඩු කරන්නේද ආදී ප්‍රශ්න ගැන තම මතය දක්වමින් තම කඳවුරු ශක්තිමත් කර ගැනීමටද කටයුතු කරති. එහෙත් මෙයාකරයෙන් ඔවුන්ට විවෘතව කතාබහ කරමින් අදහස් හුවමාරු කරගැනීමට ලැබෙන්නේ ටික කාලයකි.

අනතුරුව පාප් වහන්සේ තෝරන ඡන්ද විමසීම පැවැත්වෙන සිස්ටීන් දේවස්ථානය තුළ සිරකරුවන් වීමට ඔවුන්ට සිදුවෙයි. ඔවුන් මුළුමනින්ම ලෝකයාගෙන් වෙන් කරනු ලබයි. ඒ ඔවුන්ගේ ඡන්දයට බාහිර ලෝකයෙන් කිසිදු බලපෑමක් නොවීමටය. එතැන් සිට එහි රැස්ව සිටීමට බලතල ඇති කාදිනල්වරුන්ගේ බහුතරයකගේ ඡන්දය ලැබී නව පාප් වහන්සේ කෙනකු තෝරා පත් කරගන්නා තෙක් ඔවුන්ට නිදහස් ලෝකයට පිවිසීමට වරම් නොලැබෙයි.

නව පාප් වහන්සේ කෙනකු තෝරා පත් කරගැනීම සඳහා කාදිනල්වරුන් වසර කිහිපයක සිට රැස් වෙන්නේ වතිකානයේ පිහිටි සිස්ටීන් දේවස්ථානයේදීය. මෙසේ බාහිර ලෝකයෙන් වෙන් වී නව පාප්වරයකු නැතහොත් රෝමයේ බිෂොප්වරයා (Bishop of Rome) තෝරාගැනීම සඳහා කාදිනල්වරයකු තෝරා ගැනීමට අනුගත වන ක්‍රියාදාමය හැඳින්වෙන්නේ පේපල් ක්ලේව් (Papal Conclave) ලෙසයි.

Papal Conclave යන වදන් දෙකෙන් “Conclave” යන්න ලතින් වචනයකි. එය “cum clave” යන වචන දෙක ශත වර්ෂ ගණනාවක් තිස්සේ පරිණාමය වීමෙන් සෑදුනක් බව කියැවෙයි. “cum clave” යන්නෙහි තේරුම “යතුරු දැමූ” (cum clave) යන්නයි.

ආගමික නායකයා තෝරා ගැනීමේ ක්‍රියාවලියේදී දේශපාලන හෝ පෞද්ගලික බලපෑම් සිදු නොවීම සඳහා කාදිනල්වරුන් යම් ස්ථානයකට රැස් කොට යතුරු ලා සිර කිරීම මින් අදහස් කෙරේ. එමඟින් බලපෑම්වලින් තොරව ඔවුන්ගේ ඡන්දය ලබා දීමේ පරිසරයක් නිර්මාණය කරයි.

ඉතිහාසයේ වරෙක දේශපාලන සහ සමාජයීය බලපෑම් හේතුවෙන් කාදිනල්වරුන්ගේ ඡන්දයෙන් පාප් වහන්සේවරයකු තෝරා ගැනීමට වසර තුනක් ගත වී ඇත. ඒ 1268 සිට 1271 දක්වා කාලයයි. මේ හේතුවෙන් ඉන් අනතුරුව පත් වූ ග්‍රෙගරි පාප් වහන්සේ 1274දී කාදිනල්වරුන් මෙසේ යම් තැනකට රැස් කොට අගුළුලා ලෝකයෙන් වෙන්කර ඉතා රහසිගත අන්දමින් සහ බාහිර බලපෑම්වලින් තොරව නිදහස්ව ඡන්දය පාවිච්චි කිරීමේ ක්‍රමවේදය ප්‍රකාශයට පත් කොට ඇත.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව නව පාප් වහන්සේ තෝරා ගැනීම සඳහා මෙවර Papal Conclave ඇරඹෙන්නේ මෙම මැයි 07දා බව වතිකානය නිවේදනය කර තිබේ. 7 වැනිදා ඡන්ද විමසීමට සහභාගි වන කාදිනල්වරුන්ගේ ගණන 133කි.

නව පාප් වහන්සේ තෝරාගනු ලබන ඡන්ද විමසීමට සහභාගි වීමට ලෝකයේ සිටින සියලුම කාදිනල්වරුන්ට අවස්ථාව නොලැබේ. ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ වයස 80ට අඩු කාදිනල්වරුන්ට පමණකි. මේ වන විට කතෝලික පල්ලිය සඳහා සිය සේවාව සපයන කාදිනල්වරුන් සංඛ්‍යාව 252ක් වුවත් ඡන්ද විමසීමට 133ක් සහභාගි වීමට එක් හේතුවක් වන්නේ වයසයි. වයස අනුව මින් 135 දෙනකුට පමණක් ඡන්ද අයිතිය ඇත. එසේම තමන් සුදුසුකම් සපුරා ඇති අවස්ථාවක වුවද ඊට සහභාගි වීමට අකැමැත්තක් ඇත්නම් සහභාගි නොවී සිටීම සඳහා කාදිනල්වරුන් වෙත වතිකානය නිදහස ලබා දී තිබේ. එසේම යම් යම් චෝදනා ඇති කාදිනල්වරුන්ටද මෙම ක්‍රියාදාමයෙන් ඈත් වීමට සිදුවෙයි. 1970දී 6 වැනි පාවුළු පාප් වහන්සේ විසින් ඡන්ද විමසීම සඳහා සහභාගි වන කාදිනල්වරුන් සංඛ්‍යාව 120කට සීමා කළ අවස්ථාවක්ද විය.

චෝදනා ලැබූ කාදිනල්වරුන්ට නව පාප් වහන්සේ තෝරන ක්‍රියාදාමයෙන් ඉවත් කිරීමේ පදනම මත 76 හැවිරිදි වියේ පසුවන ඇන්ජිලෝ බෙක්යු කාදිනල්වරයා ඡන්ද විමසීමෙන් ඉවත් වී ඇත. “පල්ලියේ යහපත පිණිස” කටයුතු කරන බව කියමින් එම කාදිනල්වරයා ඉකුත් අප්‍රේල් 29දා නිල වශයෙන් ඉවත්වීමට කටයුතු කළේය. 2023 දෙසැම්බර් මාසයේදී ඔහු මූල්‍ය වංචාවකට වරදකරු විය. කෙසේ වෙතත් ඔහු නිදොස් බවට විත්ති වාචිකය ඉදිරිපත් කර තිබිණි.

මෙවැනි ඡන්ද විමසීමකට සහභාගි වන කාදිනල්වරුන්ට ඒ සඳහා කොතරම් දින ගණනවාක් ගතවේද යන්න කල් තියා පූර්ව නිගමනය කළ නොහැකිය. මීට හොඳම උදාහරණය වසර තුනක් තිස්සේ පැවති ඉහත සඳහන් කළ ඡන්ද විමසීමයි. කෙසේ නමුත් වර්තමානය වන විට කාදිනල්වරුන් කතාබහ කර ගතවන කාලය අඩු කර ගැනීමට කටයුතු කරන බවත් ඉක්මනින් එකඟතාවකට පැමිණීමට කටයුතු කරන බවත් පෙනී ගොස් ඇත. කෙසේ නමුත් මෙම මැයි 07 දා ඡන්ද විමසීම සඳහා සිස්ටීන් දේවස්ථානයට ඇතුළු වී අඟුළු දාගන්නා කාදිනල්වරුන්ට නව පාප් වහන්සේ තෝරා ගැනීමට කොතරම් කාලයක් යත්ද යන්න දන්නේ දෙවියන්ම පමණකි.

සාමාන්‍යයෙන් ඡන්ද විමසීමේ පළමු දිනයේදී එක් වරක් පමණක් ඡන්දය විමසීම සම්ප්‍රදාය වෙයි. එම ඡන්දයෙන් තීරණාත්මක ප්‍රතිඵලයක් නොලැබීනම් ඊළඟ දින දෙකේදී සෑම දිනයකදීම උදේ වරුවේ ඡන්ද විමසීම් දෙකක්ද සවස් වරුවේ ඡන්ද විමසීම් දෙකක්ද සිදු කෙරේ.

දින 3ක් ගතවන විටත් තීරණයක් නොලද හොත් එක් දිනක විරාමයක් ගැනීමට අවසර ඇත. එම දිනයේදී කාදිනල්වරුන්ට ඔවුන් අතර සාකච්ඡා පැවැත්වීමට මෙන්ම යාඥා කිරීමටද ඉඩකඩ ලැබෙයි. කෙසේ වුවත් බහුතර ඡන්දයෙන් පාප් වහන්සේ කෙනකු තෝරා පත් වන තෙක් මෙම ක්‍රමවේදය අඛණ්ඩව ඉදිරියට යයි.

බාහිර බලපෑම්වලින් ඉවත්වීම සඳහා මෙසේ දොරගුළුලා ඡන්ද විමසීම කරන හෙයින්ම මෙම වකවානුව තුළ කාදිනල්වරුන්ට බලපෑම් සිදුවීමේ අවස්ථා අතිශයින් අඩු කිරීමට කටයුතු කර තිබේ.

පිටත ලෝකයෙන් කාදිනල්වරුන්ට පණිවිඩ ලැබීම වැළැක්වීම සඳහා කාදිනල්වරුන්ට සපයනු ලබන්නේ සිස්ටීන් දේවස්ථානය තුළදීම කන්‍යා සොහොයුරියන් විසින් පිසින ලද කෑමයි. ආහාර පිසීම සඳහා කෝකියන් යොදා නොගැනේ. එසේම මේ සඳහා පිටතින් ආහාර ගෙන්වා නොගන්නේ ඡන්ද විමසීම් කාලය තුළ පිටතින් ලැබෙන ආහාර සමඟ පිටතින් බලපෑම් සහිත පණිවිඩ ලැබිය හැකි බැවිනි. එවැනි අවස්ථා අතීතයේදී අත්දැක ඇති අතර පයි වර්ග සහ කුකුළු මස්වලද වීදුරු සහ හැඳි ගෑරුප්පුවලද පණිවිඩ අඩංගු කර තිබී හසු වී ඇත. එහෙයින් පිටතින් ආහාර ලබා ගැනීම තහනම් කොට ඇත. කන්‍යා සොහොයුරියන් විසින් ඡන්ද විමසීමට සහභාගි වන කාදිනල්වරුන් වෙනුවෙන් බැටළු මස් කූරු, තැම්බූ එළවළු සහ ස්පැගටී වැනි සරල කෑම පිළියෙල කරනු ලැබේ.

බහුතර ඡන්දයෙන් නව පාප් වහන්සේ තෝරා ගන්නා තෙක් සිදු කෙරෙන ඡන්ද විමසීම්වලදී භාවිත කෙරෙන ඡන්ද පත්‍රිකා සියල්ල පුලුස්සනු ලැබේ. මෙසේ ඡන්ද පත්‍රිකා පුලුස්සන සෑම වාරයක් පාසාම සිස්ටීන් දේවස්ථානයේ චිමිනියෙන් දුම් පිටවෙයි. දේවස්ථානය ඇතුළත සිටින කාදිනල්වරුන් ඡන්දය පාවිච්චි කළ බව එවිට පිටත ලෝකයා දැනගනී.

නව පාප් වහන්සේ කෙනකු පත් කර ගත් විට සිස්ටීන් දේවස්ථානයේ චිමිනියෙන් පිටවන්නේ සුදු දුමාරයකි. ඒ සඳහා අසමත් වන සෑම ඡන්ද වාරයක් අවසානයේම ඡන්ද පත්‍රිකා පුලුස්සන විට දේවස්ථානයේ චිමිනියෙන් පිටතට යන්නේ කළු දුමාරයයි.

මෙසේ දුමාරයේ පැහැය මඟින් දේවස්ථානය තුළ ගනු ලැබූ රහස්‍ය තීන්දුව ඒ දෙස මහත් විමසිල්ලෙන් පිටත සිටින ජනයාට සන්නිවේදනය කිරීමට මෙම දුමාරය කළු දුමාරයක්ද සුදු දුමාරයක්ද යන්න ඉතා වැදගත් වෙයි. මෙසේ දුමාරයේ පැහැය දැක්වීමට සිස්ටීන් දේවස්ථානය තුළ ඡන්ද පත්‍රිකා පිලිස්සීමේ ක්‍රියාවලියට රසායන ද්‍රව්‍ය භාවිත කරයි.

බහුතර ඡන්දය නොලැබුණු අවස්ථාවක ඡන්ද පත්‍රිකා පිලිස්සීමට පොටෑසියම් පර්ක්ලෝරේට්, ඇන්ත්‍රසීන් සහ සල්ෆර් යන රසායන ද්‍රව‍ය භාවිත කරයි. එවිට ලැබෙන දුමාරය කළුය.
බහුතර ඡන්දයෙන් නව පාප් වහන්සේ තෝරා ගැනීමට හැකි වූ විට පොටෑසියම් පර්ක්ලෝරේට්, ලැක්ටෝස් සහ ක්ලෝරෆෝම් රෙසින එක්කර ඡන්ද පත්‍රිකා පිලිස්සීම කරයි. එවිට චිමිනියෙන් සුදු දුමාරය නිකුත් වෙයි.

ලබන මැයි 07දා සිට ලෝකවාසීන් බලා සිටින්නේ වතිකානයේ සිස්ටීන් දේවස්ථානයේ චිමිනියෙන් සුදු දුමාරය නඟින තෙක්ය. එය දෑසින් දැක බලා ගැනීමට මේ වන විට වතිකානයට ලොව සතර දෙසින් ජනතාව ඇද‍ෙමින් සිටිති. ඒ නිසාම වතිකානය කරා ගුවන් ටිකට්පත්වල මිලද අසාමාන්‍ය ලෙස වැඩි වී ඇති බව සඳහන් වෙයි.
රු කාරියවසම් – මව්බිම




Leave a Reply

Your email address will not be published. Required fields are marked *