BREAKING NEWS
Search

ඇමති දන්නවද දන්නෙත් නෑ.. විදුලිය නෑ කියලා… විදුලිබල ඇමතිගේ ගමෙත් දින 4ක් විදුලිය නැ…

57

ඉංගිරියේ අවට ප්‍රදේශ කිහිපයකට දින 4ක් මුළුල්ලේ විදුලි සැපයුම ඇණ හිටීමෙන් ප්‍රදේශවාසීන්, ව්‍යාපාරිකයින් ඇතුළු පිරිස් දැඩි අපහසුතාවයකට පත්ව සිටියි.

ඔවුන් පෙන්වා දෙන්නේ විදුලිබල මණ්ඩල සේවකයන් අකාර්යක්ෂම ලෙස කටයුතු කරමින් සිටින බවය.

ඉංගිරිය රයිගම්වත්ත ප්‍රදේශයට හමාගිය සුළඟකින් ගස් කිහිපයක් කඩා වැටී අධිබලැති විදුලි රැහැන් කණු 3ක් බිඳවැටී ඇත්තේ පසුගිය මාර්තු 22 වනදා පස්වරුවේදීය.

මේ හේතුවෙන් ඉංගිරියේ සිට කොළඹ දක්වා ඇති හඳපාන්ගොඩ, මහා ඉංගිරිය, රයිගම්වත්ත, ඉමගිර ඇතුළු ප්‍රදේශ කිහිපයකට දින 4ක් මුළුල්ලේ විදුලිය ඇණ හිට තිබේ.

ඉන් ප්‍රදේශවාසීන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටය.

විදුලි පෑස්සුම් කර්මාන්තය ජීවනෝපාය කරගත් බොහෝ දෙනෙකු මෙම ප්‍රදේශවල ජීවත්වන අතර ඔවුන්ට උදාවී ඇත්තේ සිය ජීවිකාව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයකි.

එමෙන්ම ස්වයං රැකියා කරන පිරිස්, වෙළෙඳසැල් පවත්වාගෙන යන පිරිස්ද දැඩි අපහසුතාවයට පත්ව සිටියි.

වෙළෙඳුන් පවසන්නේ, ශීතකරණ තුළ ගබඩා කර තිබූ මස්, මාළු, යෝගට්, අයිස් ක්‍රීම් මෙන්ම බීම වර්ග මෙන්ම තවත් ආහාර ද්‍රව්‍ය රැසක්ද මේ වනවිට නරක් වී ඇති බවය.

විදුලි සැපයුම ඇණහිටීම නිසා, මේ දිනවල සාපෙළ විභාගයට පෙනී සිටින දරුවන්ද සිය පාඩම් කටයුතු සිදුකරන්නේ කුප්පි ලාම්පු එළියෙනි.

විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීම සඳහා විදුලිබල මණ්ඩලයේ සේවකයින් දින 4ක සිට වෙහෙසුන ද යළි විදුලි සැපයුම ලබාදීමට ඔවුන් අසමත් වී තිබේ.

ගම්වාසීන් පවසන්නේ, හඳපාන්ගොඩ ප්‍රදේශය විදුලිබල අමාත්‍යවරයාගේ ගම් ප්‍රදේශය වන බැවින් ඒ පිළිබඳව සළකා හෝ විදුලි සැපයුම යථාවත් කිරීමට කටයුතු කරන ලෙසය.

මේ පිළිබඳව විමසීමට අද දෙරණ විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා හෝ වගකිව යුතු ඉහළ නිලධාරියකු සම්බන්ධ කරගැනීමට කිහිපවරක්ම උත්සාහ කළද එම උත්සාහය සාර්ථක වූයේ නැත.

Source – Ada Derana

Video – Hiru News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *