BREAKING NEWS
Search

විල්පත්තුව හරහා අධිවේගී මාර්ගයක් ගැන ඇසෙන දැනුම්දීම මෙන්න.

178

විල්පත්තු අභයභූමි කලාපය හරහා මීට පෙර යෝජනා කර තිබූ පරිදි අධිවේගී මාර්ගයක් ඉදිනොකිරීමට බලධාරීන් තීරණය කර ඇතැයි නීතිපතිවරයා ඊයේ (07)ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

එම අධිවේගී මාර්ගය ඉදිකිරීමට එරෙහිව පාරිසරික පදනම විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ
ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අවන්ති පෙරේරා මහත්මිය විසින් මෙම දැනුම්දීම සිදුකළාය.

එහිදී අදාළ අධිවේගී මාර්ගය ඉදිනොකරන බවට රජයේ පාර්ශය විසින් දැනුම්දීමෙන් අනතුරුව අදාළ පෙත්සම සමතයට පත්කර ගැනීමට දෙපාර්ශ්වයම අධිකරණය හමුවේ එකඟවිය.

කෙසේ වෙතත් මේ වන විට විල්පත්තු අභයභූමිය හරහා වැටී තිබෙන මාර්ගය වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධානයන්ට යටත්ව පවත්වාගෙන යා හැකි බවත් අධිකරණය හමුවේ සඳහන් කෙරුණි.

ඒ අනුව මෙම සමථය සටහන් කරගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය අවසන් කිරීමටද තීන්දු කළහ.

මෙම පෙත්සම තුළින් පෙත්සම්කාර සංවිධානය සඳහන් කර තිබුණේ විල්පත්තු අභයභූමි කලාපය හරහා අධිවේගී මාර්ගයක් ඉදි කිරීමට සූදානම් වන බවට තමන්ට තොරතුරු දැනගන්නට ලැබුණු බවයි.

එවැනි අධිවේගී මාර්ගයක් ඉදි කළහොත් එය හරහා අභයභූමියේ පරිසර පද්ධතියට දැඩි හානියක් සිදුවන ආතර වන සතුන්ටද අනතුරු සිදුවිය හැකි බව පෙත්සමින් පෙන්වා දී තිබුණි.

ඒ අනුව අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *