රුසියානු ඉතිහාසය ගැන කතා කරද්දී අපිට මුණගැහෙන අමුතුම මිනිහෙක් තමයි ග්‍රෙගරි රස්පුටින්. සමහරු ඔහුට කිව්වේ “ශුද්ධවන්තයෙක්” කියලා. තවත් සමහරු ඔහුට කිව්වේ “සාතන්ගේ දූතයෙක්” කියලා. ඒත් එක දෙයක් ස්ථිරයි එදා රුසියානු අධිරාජ්‍යයේ ඉරණම තීරණය කරන්න තරම් මේ මනුස්සයා බලවත් වුණා.
අද අපි කතා කරමු, සයිබීරියාවේ හිම කතරෙන් ඇවිත් රුසියානු රජ මාලිගාව තමන්ගේ අතට ගත්ත මේ “යකඩ මිනිසාගේ” අමුතුම කතාව ගැන.

රස්පුටින් කියන්නේ රුසියාවේ සයිබීරියාවේ දුප්පත් ගොවි පවුලක ඉපදුණු කෙනෙක්. එයාට කිසිම උගත්කමක් තිබුණේ නැහැ. හැබැයි එයාට පුදුම “වශීකරණ” බලයක් තිබුණා කියලා කියනවා. රස්පුටින්ගේ ඇස් දෙක දිහා බැලුවම ඕනෑම කෙනෙක් මෝහනය වෙනවා කියලයි එදා මිනිස්සු විශ්වාස කළේ.
ඔහු තමන්ව හඳුන්වා ගත්තේ දෙවියන් වහන්සේගෙන් වරම් ලැබුණු “සුව කරන්නෙක්” විදියට. රුසියාවේ අවසන් සාර් රජු වුණු දෙවන නිකලස් රජුගේ එකම පුතා (ඇලෙක්සෙයි කුමරු) ලේ කැටි ගැසෙන්නේ නැති “හීමොෆිලියා” (Haemophilia) රෝගයෙන් පීඩා වින්දා. ලෝකේ හිටපු දක්ෂම දොස්තරලට සුව කරන්න බැරි වුණු මේ රෝගය, රස්පුටින්ගේ යාඥාවන්ගෙන් සුව වෙන්න පටන් ගත්තා.
අන්න ඒ සිද්ධියත් එක්ක තමයි රස්පුටින්ට රුසියානු මාලිගාවේ දොරවල් විවෘත වුණේ.
රස්පුටින් ගැන තියෙන ප්‍රධානම කටකතාව තමයි ඔහුගේ තිබුණු අසීමිත ස්ත්‍රී ලෝලත්වය. රජ මාලිගාවේ හිටපු රැජින (ඇලෙක්සැන්ඩ්‍රා ෆියෝඩොරොව්නා) පවා රස්පුටින්ව ඇදහුවේ දෙවියෙක් වගේ. රස්පුටින් මොන වැරැද්ද කළත් රැජින ඒ හැමදේම සාධාරණීකරණය කළා.
ඒ කාලේ රුසියාවේ හිටපු ලස්සනම රාජ කුමරියන් සහ වංශවත් කාන්තාවන් රස්පුටින්ගේ පාමුල වැඳ වැටුණේ පුදුම භක්තියකින්. රස්පුටින් ප්‍රසිද්ධියේම කිව්වේ “දෙවියන්ගෙන් සමාව ලබන්න නම් මුලින්ම පව් කරන්න ඕනේ” කියලා. මේ අමුතු මතය නිසාම කාන්තාවන් තමන්ගේ පතිවත පවා ඔහුට පූජා කළේ එය ආගමික වතාවතක් කියලා හිතාගෙනයි.

ඔහුගේ අපිරිසිදු පෙනුම, පීරන්නේ නැති රැවුල සහ ගඳ ගහන ඇඳුම් පැළඳුම් තිබුණත්, ඔහුට තිබුණු “යකඩ වැනි” පෞරුෂය ඉදිරියේ ඕනෑම කාන්තාවක් නිරායුධ වුණා.
පස්සේ කාලෙක රස්පුටින් රජ මාලිගාවේ උපදේශකයෙක් වුණා. රජු යුද්ධයට ගිය වෙලාවට රට පාලනය කළේ රස්පුටින් කියලයි රුසියානු ජනතාව විශ්වාස කළේ. ඇමතිවරු පත් කිරීම, ඉවත් කිරීම වගේ හැම දේකටම රස්පුටින් ඇඟිලි ගැහුවා. මේ නිසාම රුසියානු වංශවත් පිරිස රස්පුටින් එක්ක ලොකු වෛරයකින් හිටියේ.
රස්පුටින්ව මරන්න ගත්තු උත්සාහය තමයි ලෝක ඉතිහාසයේ තියෙන පුදුම සහගතම ඝාතනය. 1916 දෙසැම්බර් මාසයේ දවසක, වංශවත් පිරිසක් එකතු වෙලා රස්පුටින්ව සාදයකට ගෙන්න ගත්තා.
මුලින්ම ඔහුට “සයනයිඩ්” (Cyanide) මිශ්‍ර කරපු කේක් සහ වයින් දුන්නා. සාමන්‍ය මනුස්සයෙක් විනාඩියකින් මැරෙන වස ප්‍රමාණයක් ඔහු කෑවත්, ඔහුට කිසිම දෙයක් වුණේ නැහැ!
වස වැඩ කරන්නේ නැති නිසා කලබල වුණු කුමාරයෙක් රස්පුටින්ගේ පපුවටම වෙඩි තැබුවා. රස්පුටින් බිම වැටුණා. හැබැයි ටික වෙලාවකින් ආයෙත් ඇස් ඇරපු රස්පුටින්, තමන්ට වෙඩි තියපු මනුස්සයාව මරාගෙන කන්න වගේ ලුහුබැඳගෙන ගියා!
පස්සේ පිටිසක් ඔහුට වෙඩි කිහිපයක් තියලා, යකඩ පොලුවලින් ගහලා අයිස් මිදෙන්න තරම් සීතල “නෙවා” (Neva) ගඟට විසි කළා.
පස්සේ ඔහුගේ සිරුර හමුවුණාම හෙළි වුණේ, වෙඩි වැදිලත්, වස කවලත් ඔහු මැරිලා නැති බවත්, ඔහු මියගිහින් තියෙන්නේ වතුරේ ගිලීමෙන් (Drowning) බවත්ය. ඒ කියන්නේ වතුරට විසි කරද්දීත් ඔහු පණපිටින් ඉඳලා තියෙනවා!

රස්පුටින් මැරෙන්න කලින් රජුට ලියුමක් ලියලා තිබුණා. ඒකේ තිබුණේ මෙහෙමයි “මාව මරන්නේ සාමාන්‍ය ගොවියෙක් නම් ඔබ බය වෙන්න එපා. හැබැයි මාව මරන්නේ ඔබේ නෑදෑයෙක් (වංශවතෙක්) නම්, වසර දෙකක් යන්න කලින් ඔබේ මුළු පවුලම විනාශ වෙලා යාවි.”
පුදුමයකට වගේ, රස්පුටින් මිය ගිහින් මාස 15ක් යද්දී රුසියානු විප්ලවය ඇති වුණා. සාර් රජු ඇතුළු මුළු රාජකීය පවුලම වෙඩි තබා ඝාතනය කෙරුණා.
රස්පුටින් කියන්නේ නිකම්ම නිකම් මිනිහෙක් නෙවෙයි, රුසියානු ඉතිහාසයේ කළු පැල්ලමක් වගේම අදටත් විසඳන්න බැරි අභිරහසක්….
උපුටාගැනීම – Amuthu







