මේ තරුණ වයසට මට බරවැඩි කියලා හිතෙන තරම් අත්දැකීම් මට මගේ ජීවිතයේ තියෙනවා…” –අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර

580

අනූ කනූ’ කිව්වාම, නොදන්න කෙනෙක් නැති තරම්.

කෙටි කාලයක් තුළ සමාජ මාධ්‍යයෙන් කතාබහට ලක්වෙලා, ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලත් නිර්මාණවලින් කතාබහට ලක්වුණු අක්කා-නඟෝ දෙන්නෙක් තමයි මේ.

රංගනය සහ නර්තනය ඔස්සේ දිගු ගමනක් යන මේ දෙන්නගෙන් කෙනෙක්, වාසනාවන්ත වුණා,,, මේ දිනවල වඩාත් කතාබහට ලක්වන සිනමාපටයකින් රසික සමූහයා අතරට එන්න.

සිනමාපටය, චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කළ ‘Father’ (ෆාදර්)

එහි, ‘සඳලතා’ චරිතයට පණපොවන ඈ, අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර.

ඇගේ පළමු චිත්‍රපට අත්දැකීම මෙය වීම විශේෂයි.

”මම මුලින්ම මතක් කරන්න ඕනෑ හැත්තෑව අනූව දශකයේ පෙනුම ස්වරූපය සහ අධ්‍යක්ෂවරයාගේ මනසේ ඇඳි සඳලතාව කොහොමද එළියට ගන්නේ වගේම ඊට අවශ්‍ය පෙනුම ලබාගැනීමට යම්කිසි කැපකිරීමක් සිදු කළා. මම එදිනෙදා හුරුපුරුදුවෙලා හිටපු සියලු රූපලාවන්‍ය කටයුතු පවා නවතා දැමුවා. මම සහ මගේ නිවුන් සහෝදරිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක් විදිහටත් කටයුතු කරනවා. මෙහි රූගත කිරීම් කාලපරිච්ඡේදයේ දී සමාජ මාධ්‍ය ජාලාවල පවා යම්කිසි සීමාවක් කරන්න සිදු වුණා. තවත් කියන්න ඕනෑ කාරණාවක් තමයි මෙය සත්‍ය කතාවක්. ඒ කාලවකවානුවේ සිද්ධ වෙච්ච සමාජ, සංස්කෘතික දේශපාලනික පැතිකඩ මම අධ්‍යයනක් සිදු කළා. මේ කාලවකවානුවේදී සඳලතා එක්ක ජීවත්වුණා කිව්වොත් නිවැරදියි…”

‘සඳලතා’ වෙනුවෙන් එහෙම කැපකිරීමක් කළ අනුෂ්කිට, අලුත්ම අත්දැකීමකටත් මුහුණදෙන්න වෙලා…

”රූගත කිරීම්වලදී මට ෆුට් සයිකල් එහෙමත් පදින්න තිබෙනවා කියලා අධ්‍යක්ෂවරයා කිව්වා. ඇත්තටම මම මීට පෙර ෆුට් සයිකල් පැදලා නැහැ. ඒ වෙනකොට ඉතාම සුළු කාලවේලාවක් ඇතුළත තමයි මට ඒ දර්ශනය රූගත කරන්න තිබෙනවා කියලා කිව්වේ. ඉතිං මම ඒ අභියෝගයත් භාර අරගෙන ෆුට් සයිකල් පදින්න පුංචි වෙලාවක් ඇතුළත පුරුදු වුණා…”

අනුෂ්කි කියන විදියට, ඇයගේ සහ සඳලතා චරිතයේත් යම් යම් සමානකම් තියෙනවා…

”සඳලතා කියන චරිතය තමන්ගේ එකකුස උපන් සහෝදරයාට සහ ඔහුගේ මිත්‍රයන්ට වුණු අසාධාරණය වෙනුවෙන් පෙනී සිටි නිර්භීත කාන්තාවක්. ඇයගේ ජීවිතයේ අභියෝග භාර ගත්තු තැන් බොහෝමයි. ජීවිතයේ දරාගත්තු තැන් බොහෝමයි. ඒ වගේම මමත් අසාධාරණයට ටිකක්වත් කැමැති නැති කෙනෙක්. මගේ ජීවිතයේදීත් අසාධාරණයන් වෙනුවෙන් පෙනීසිටි අත්දැකීම් මට තියෙනවා. ඒ වගේම මගේ ජීවිතයේ දරාගත්තු තැන් බොහෝමයක් තියෙනවා. ඇතැම් අත්දැකීම් මේ තරුණ වයසට මට බරවැඩි කියලා හිතෙන තරම් අත්දැකීම් මට මගේ ජීවිතයේ තියෙනවා. ඒ දේවල් මම දරාගත්තු තැන් ඒ වගේම සඳලතාගේ ඇයත් දරාගත්තු තැන් තියෙනවා. කාන්තාවකට දරාගැනීම කියන එක හරිම පොදු දෙයක්. ඉතින් මේ චරිතයට අවශ්‍ය අභියෝග භාර ගැනීමේ සහ ජය ගැනීමේ ශක්තිය මා තුළ තිබුණ නිසා තමයි චිත්‍රපටයේ මංගල දර්ශනය දවසේ මේ තරම් ප්‍රතිචාර මට ලැබුණේ. අධ්‍යක්ෂ චමින්ද ජයසූරිය මට පැවසුවා ඔහු මේ චරිතය මට ලබාදෙන වෙලාවේ මේ වගේ ප්‍රවීණ නළු නිළියන් රැසක් ඇතුළේ මට මේ චරිතය ලබාදුන්නේ මාව විශ්වාස කරලා කියලා. ඔහුගේ තීරණය හරි කියලා ඔහු මට පැවසුවා. ඒක මගේ ජීවිතයේ ලොකු හැරවුම් ලක්ෂ්‍යයක් වගේම ආශිර්වාදයක් විදිහට පිළිගන්නවා….”

”පළමුවරට මාව රිදී තිරයේ දකිනවා කියන එක හීනයක්. ඇත්තටම ගොඩාක් සතුටුයි. මගේ පළමු චිත්‍රපටයෙන්ම මේ වගේ ප්‍රවීණයන් රැසක් එක්ක මාව දකින්න ලැබීම ගැන ඇත්තටම සතුටුයි. ඒ ගැන අධ්‍යක්ෂ චමින්ද ජයසූරිය වගේම නිෂ්පාදක ශාන්ත ගීතදේව මහත්මයාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනෑ.”

උපුටාගැනීම : මීවිත | දිනේෂ් විතාන




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!