අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක රථ ගාලේදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු සියයට 80කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට සම්පූර්ණ කර ඇති බව පොලීසිය පවසයි.
අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා සඳහන් කළේ, මෙම ද්විත්ව ඝාතනය 2026 පෙබරවාරි 13 වනදා වාර්තා වූ බවයි.
සිද්ධියෙන් දින තුනක් ඇතුළත ප්‍රධාන වෙඩික්කරු ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි වූ බවද ඔහු පැවසීය. එම සැකකරුවන් අතරින් තිදෙනෙකු දින 90ක රැඳවුම් නියෝග යටතේ තවදුරටත් ප්‍රශ්න කරමින් සිටින අතර, අනෙක් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට යොමු කර ඇත.
තවද, සිද්ධියට සම්බන්ධ වෙනත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 12ක් විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇති බවත්, ඉදිරි දින කිහිපය තුළ වැඩිදුර ප්‍රගතියක් අපේක්ෂා කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.(Ape Rata)







