BREAKING NEWS
Search

මාධ්‍ය මර්දනයෙන් වැඩ වරද්දාගත් නේපාලයටම ඇඳිරි නීතිය: ඉන්දියාවත් සූදානම් වෙයි

2910

මාධ්‍ය මර්දනයෙන් වැඩ වරද්දාගත් නේපාලයටම ඇඳිරි නීතිය: ඉන්දියාවත් සූදානම් වෙයි

නේපාලය සමාජ මාධ්‍ය තහනම් කිරීමට රජය විසින් ගත් තීන්දුව හේතුවෙන් ඇතිවූ Gen Z පරම්පරාව විසින් මෙහෙයවනු ලබන ප්‍රචණ්ඩකාරී විරෝධතා හමුවේ රටපුරා මතුවූ ප්‍රචණ්ඩත්වය හමුවේ එරට හමුදාව රට පුරාම ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

එරට වාර්තා පවසන්නේ හමුදාව විසින් රටේ ආරක්ෂාව භාරගෙන ඇඳිරි නීතිය පනවමින් නිවේදනයක් නිකුත් කර ඇත්තේ, අරගලයේ නාමයෙන් නොසන්සුන් කණ්ඩායම් පුද්ගලයන්ට සහ දේපළවලට ප්‍රහාර එල්ල කර ඇති අතර, ලිංගික අතවර කිරීමට උත්සාහ කර ඇති බවයි.

හදිසි සේවා වාහන එනම්, ගිලන්රථ, මළගම් රථ, ගිනි නිවන රථ, සෞඛ්‍ය සේවකයින් සහ ආරක්ෂක නිලධාරීන්ට මෙම කාලය තුළ ක්‍රියාත්මක වීමට අවසර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

අගමැතිෂර්මා ඔලී ප්‍රමුඛ රජය Facebook, X සහ YouTube ඇතුළු සමාජ මාධ්‍ය වෙබ් අඩවි තහනම් කිරීමෙන් පසුව මෙම විරෝධතා ප්‍රචණ්ඩකාරී වුණා. මෙම තහනම රට පුරා පුළුල් ප්‍රචණ්ඩත්වයක් ඇති කළ අතර, අවසානයේදී ඔලීට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට සහ රටින් පලා යාමට සිදුවි තිබෙනවා.

සඳුදා දින දූෂණයට එරෙහිව සහ තාවකාලික සමාජ මාධ්‍ය තහනමට එරෙහිව පැවති Gen Z විරෝධතාවලදී අවම වශයෙන් 22 දෙනෙකු මියගොස් ඇත බව ඇතැම් වාර්තාවල දැක්වෙනවා.ඉන් පසුව සිය ගණනක් විරෝධතාකරුවන් ඔලීගේ කාර්යාලයට කඩා වැදීමෙන් පසු ඔහු ඉල්ලා අස්වුණා. පසුව එදින රාත්‍රියේ සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට රජය කටයුතු කළ ද විරෝධතා තවදුරටත් උත්සන්න වුණා.

අද අලුයම සිට නේපාල හමුදා භට පිරිස් කත්මන්ඩු සහ අනෙකුත් ප්‍රධාන නගර පුරා යොදවා ඇත්තේ සීමා කිරීම් බලාත්මක කිරීමට සහ සාමය යථා තත්ත්වයට පත් කිරීමටයි. ඔලීගේ ඉල්ලා අස්වීමෙන් පැය කිහිපයකට පසුව පවා නොසන්සුන්තාවය පැවති බැවින්, හමුදාව ඊයේ රාත්‍රී 10 ට රට පුරා ආරක්ෂාව භාරගෙන කත්මන්ඩු, ලලිතපුර්, භක්තපූර් සහ අනෙකුත් ප්‍රදේශවල සීමා පැනවූවා.

හමුදාව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “දුෂ්කර තත්ත්වයෙන් අයුතු ප්‍රයෝජන ගනිමින් සාමාන්‍ය පුරවැසියන්ට සහ පොදු දේපළවලට බරපතල හානි සිදු කරන” ඇතැම් කණ්ඩායම්වල ක්‍රියාවන් පිළිබඳව සැලකිලිමත් වන බවයි.

මේ අතර ඉන්දීය රජය, නේපාලයේ උත්සන්න වන විරෝධතා සමීපව නිරීක්ෂණය කරන බවට එරට මාධ්‍ය පවසනවා. ඉන්දියාවේ ඉහළම බුද්ධි අංශ ආරංචි මාර්ග උපුටා දක්වමින්, ඉන්දීය බුද්ධි අංශ මෙම තත්ත්වය නිරීක්ෂණය කරන්නේ බංග්ලාදේශයේ මීට පෙර සිදුවූ නොසන්සුන්තාවයට සමාන ඉන්දියාවට එරෙහි තත්ත්වයක් නේපාලයේ පැතිරීම වැළැක්වීම සඳහායි. ඉන්දියාවේ අවශ්‍යතාවලට විය හැකි තර්ජන හඳුනා ගැනීම සහ උදාසීන කිරීම සඳහා සමාජ මාධ්‍ය සහ අනෙකුත් සන්නිවේදන මාර්ග සමීපව නිරීක්ෂණය කිරීමටයි ඉන්දීය රජය පියවර ගෙන ඇත්තේනේපාලයේ නොසන්සුන්තාව ඉන්දියාවේ තරුණයින් අතර ද එවැනිම විරෝධතා ඇති කිරීමට පෙළඹවීමක් විය හැකි බවට නිලධාරීන් සැකපළ කරනවා.

නේපාලයේ රජය විරෝධී ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ හේතුවෙන් ඉන්දියාවේ නැගෙනහිර සහ උතුරු දේශසීමා ආරක්ෂා කිරීමට බදාදා දිනයේදී කඩිමුඩියේ කටයුතු ආරම්භ වී තිබෙනවා. නේපාලයෙන් ඉන්දියාවට එනවෙළඳ මාර්ග දැනටමත් අවහිර වී ඇති අතර, බටහිර බෙංගාලයේ සහ බිහාරයේ සිට උත්තර ප්‍රදේශය දක්වා දේශසීමා නගර දිගේ භාණ්ඩ ප්‍රවාහන වාහන විශාල පෝලිම් නිර්මාණය වී තිබෙනවා. බෙංගාලයේ සිලිගුරි සිට කි.මී. 34ක් දුරින් පිහිටි කාකර්විට්ටා-පානිටංකි හරස් මාර්ගයද නොසන්සුන්තාවේ බලපෑමට ලක්වූ අතර, විරෝධතාකරුවන් ටයර් පුළුස්සා, මාර්ග අවහිර කර, රේගු කාර්යාලයකට ගිනි තබා තිබුණා. දිනකට ට්‍රක් රථ 500ක් පමණ මෙම දොරටුව හරහා නේපාලයට භාණ්ඩ ප්‍රවාහනය කරනවා.

Gen Z තරුණයන්ගේ නායකත්වයෙන් යුත් උද්ඝෝෂණය උත්සන්න වීමත් සමඟ භාණ්ඩ පටවන ලද වාහන 200ක් පමණ දේශසීමාවේ ඉන්දියාව දෙසින් පෙළ ගැසී තිබෙනවා. භාණ්ඩ ප්‍රවාහනකරුවන් බිය වන්නේ මෙම අර්බුදය සමනය වන තෙක් දිගු කාලයක් බලා සිටීමට සිදුවනු ඇති බවටයි. දේශසීමා දොරටු දෙපස වෙළඳසැල් වසා දැමීමට සිදුවීමෙන් පසු බොහෝ නේපාල ජාතිකයෝ සැපයුම්, විශේෂයෙන් ආහාර සොයා ඉන්දියාවට ඇතුළු වී තිබෙනවා. බටහිර බෙංගාල ප්‍රධාන අමාත්‍ය මම්තා බැනර්ජී නේපාලයට මායිම් වන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්ගෙන් කරදරවලින් ඈත්ව සාමය පවත්වා ගන්නා ලෙස ඉල්ලා සිටි අතර, මධ්‍යම රජය තවමත් දේශසීමා වසා දැමීමට නියෝග කර නොමැති බවද සඳහන් කළා. ඇය අවධාරණය කළේ, “නේපාලය හොඳින් සිටියහොත්, ඉන්දියාවද හොඳින් සිටිනු ඇති” බවයි.

මේ අතර, ඉන්දීයවිදේශ කටයුතු අමාත්‍යාංශය නේපාලයේ සිටින ඉන්දීය ජාතිකයින්ට ප්‍රවේශම් වන ලෙසත්, දේශීය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසත් උපදෙස් දී තිබෙනවා. තත්ත්වය දිගින් දිගටම පිරිහෙමින් පවතින බැවින්, සිරවී සිටින සංචාරකයින්ගේ සුභසාධනය පිළිබඳවද බලධාරීන් නිරීක්ෂණය කරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

Source – Hiru News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!