යුද පීඩිත වන්නියේ, දිස්ත්‍රික්ක දෙකක පානීය සහ අනෙකුත් අවශ්‍යතා සඳහා වන ජල හිඟයට පිළියම් යෙදීම අරමුණ බව පවසමින් ආණ්ඩුව විසින් දියත් කිරීමට යන වාරි සංවර්ධන ව්‍යාපෘතියක් වහාම හකුලාගන්නා ලෙස බල කරමින් වන්නියේ දී දැවැන්ත උද්ඝෝෂණයක් දියත් කර තිබේ.
වව්නියාව නෙදුන්කේනි බස් නැවතුම් පොළ අසලින් ආරම්භ කළ විරෝධතා පෙළපාලියකින් 2026 පෙබරවාරි 2 වැනි සඳුදා වව්නියාව උතුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය දක්වා පැමිණි විරෝධතාකරුවන් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත සන්දේශයක්ද බාර දෙමින් ඉල්ලා තිබුනේ ජනවාර්ගික සංයුතිය වෙනස් කිරීම සැලසුම් කොටගත් ව්‍යාපෘතියක් වන කිවුල් ඔය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වහාම නවතා දමන ලෙසයි.
කිවුල් ඔය සංවර්ධන ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට 2026 ජනවාරි 19 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමත කර තිබු අතර එම ව්‍යාපෘතියට දැඩි විරෝධය එල්ල කරමින් ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය, සහ ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය (DTNA) ය ඇතුළු දෙමළ දේශපාලන පක්ෂ වල සංවිධානත්වයෙන් දියත් වු විරෝධතාවය සදහා මන්නාරම, යාපනය ඇතුළු දිස්ත්‍රික්කවලත් දෙමළ ජනතාව විශාල වශයෙන් සහභාගී වු බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
රජය නිවේදනය කර ඇත්තේ කිවුල් ඔයේ ජල සම්පත කාර්යක්ෂම හා පලදායි ලෙස යොදා ගනිමින් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ජල හිඟය, දරිද්‍රතාව හා අඩු කෘෂිකාර්මික නිෂ්පාදන ශක්තිය යන ප්‍රධාන ගැටලු විසඳීම සහ ප්‍රාදේශීය ආර්ථිකය සංවර්ධනය කිරීම අරමුණු සහිතව කිවුල් ඔය ජලාශ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස 2011-09-28 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබු බවයි.
” එවකට ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 4,170ක් වූ එම ව්‍යාපෘතිය මහවැලි ජලාශ සංවර්ධන පද්ධතියේ ‘L’ කලාපය තුළ වසර 04ක කාලයක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ නමුත්, 2022 වසරේ රට තුළ හට ගත් ආර්ථික අවපාතය හේතුවෙන් එම ව්‍යාපෘතිය 2023-12-31 දින සිට තාවකාලිකව නතර කිරීමට පසුව තීරණය කරනු ලැබ ඇත.”
යෝජිත ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, දැනට තාවකාලිකව අත්හිටුවා ඇති කිවුල් ඔය සංවර්ධන ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමටත්, දේශීය අරමුදල් භාවිතයෙන් 2031 වර්ෂය අවසානය වනවිට ව්‍යාපෘතිය අවසන් කිරීමටත්, ව්‍යාපෘතියේ මුළු පිරිවැය ඇස්තමේන්තුව මිලියන 23,456ක් වශයෙන් සංශෝධනය කිරීමටත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් පසුගියදා අනුමත කර තිබුනි.
මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය හරහා වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල පදිංචි කළ සිංහල පවුල් 4300 ක පමණ ජනතාවගේ ජල අවශ්‍යතාවය සදහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සුදානම් වන බවට චෝදනා කරන ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) ලේකම් ජනාධිපති නීතිඥ එම්. ඒ සුමන්තිරන් විරෝධතාවය අතරතුරදී සදහන් කර තිබුනේ කිවුල් ඔය ව්‍යාපෘතිය ක්‍රියාවට නැංගීමේදී දෙමළ ජනයාට අයත් ඉඩම් අක්කර 13000 ක් පමණ අළුතින් එළි පෙහෙළි කර තවත් සිංහල පවුල් 1700 ක් පමණ අළුතින් මෙම භුමියේ පදිංචි කිරීමේ සැලසුමක් දියත් වන බවයි.
“දෙමළ ජනතාව මෙහෙ පදිංචි කිරීම කළ නොහැකි දෙයක්. එමනිසා, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම දිගු කලක් තිස්සේ විවිධ ආණ්ඩු විසින් ගෙන එන ලද ව්‍යාපෘතියේ දිගුවක්. මෙම රජය ඉතා පැහැදිලි පොරොන්දුවක් ලබා දුන්නා. ඒ කියන්නේ ජන සංයුතිය වෙනස් වන විදිහට කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නේ නැ කියලා ඔවුන් පැහැදිලිව, ලිඛිතව ප්‍රකාශ කළා. එහෙම කියපු ඒ ආණ්ඩුව තමයි ඒකට නිල අවසරය ලබා දීලා ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ. ”
ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් ආරම්භ කිරීමට යන කිවුල් ඔය සංවර්ධන ව්‍යාපෘතිය හරහා ප්‍රදේශයේ දෙමළ ජනතාවට කිසිදු සෙතක් අත් නොවන බව විරෝධතාවයට එක්ව සිටි වන්නි දිස්ත්‍රික් ඉලංකෙයි තමිල් අරසු කච්චි මන්ත්‍රී (ITAK) තුරෙයිරාසා රවිහරන් පෙන්වා දී තිබුනි.
“මෙම කිවුල් ඔය ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ ලබන්න යන්නේ දැනටමත් පදිංචි වෙලා ඉන්න පවුල් 4372 ක් කියලා ව්‍යාපෘති යෝජනාවේ සදහන් කරලා තියනවා. ඊට අමතරව පවුල් 1700 ට වැඩි ප්‍රමාණයක් පදිංචි කරවන්න යනවා. ඒ නිසා දෙමළ ජනතාවට කිසි ප්‍රතිලාභයක් නැ. ”
විරෝධතාවයට එක්ව සිටි ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය (DTNA) මාධ්‍ය ප්‍රකාශක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පෙන්වාදී තිබුනේ කිවුල් ඔය සංවර්ධන ව්‍යාපෘතිය වවුනියාව සහ මුලතිව් ඒකාබද්ධ කර සිංහල ඡන්ද කොට්ඨාශයක් නිර්මාණය කිරීමේ මුලික පියවරක් ලෙසයි.
“සේරුවිල නමින් සිංහල කොට්ඨාශයක් ත්‍රිකුණාමලයට ඇවිල්ලා තියනවා. ඒ වගේම , මෙය වවුනියාව සහ මුලතිව් ඒකාබද්ධ කරලා සිංහල කොට්ඨාශයක් හැදීම සදහා මුලික පියවරක් .”
මෙම ව්‍යාපෘතිය හරහා දෙමළ ජනතාවගේ භුමිය අත්පත් කර ගැනීමට ඉඩ නොදෙන බවට විරෝධතාවය සදහා එක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් ජනාධිපති අනුර කුමාර දිසානායකට දැඩිව අවධාරණය කර තිබුනි.
“අපට මේ භූමිය කවදාවත් අත හරින්න බෑ. සටන් කළ අය ලෙස, අපගේ ජනතාව කිසි විටෙකත් මේ වන්නි භුමියේ අපේ ඉඩම අත්පත් කරගැනීමට ඉඩ දෙන්නේ නෑ කියලා අපි අනුර ආණ්ඩුවට අනතුරු අගවනවා. ”
දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ද පාර්ලිමේන්තුවේදී කිවුල් ඔය සංවර්ධන ව්‍යාපෘතියට දැඩි විරෝධය පළ කරමින් පසුගියදා පෙන්වා දී තිබුනේ යුද්ධය ඉවර වු විගසම සිදු වුවාක් මෙන් 2013 දී කිවුල් ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කෙරුනේ ජනාවාස නිර්මාණය කරමින් බවයි.
රාජපක්ෂ පාලනය යටතේ ආරම්භ කරන ලද එම ව්‍යාපෘතිය වෙනුවෙන් තව තවත් මුදල් යොදවා වත්මන් ආණ්ඩුව යටතේ යළි ආරම්භ කිරීමේ අරමුණ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස ප්‍රශ්න කර තිබුනි.








