“අපි දෙන්නා බේරාගන්න” බරපතල චෝදනා සහිතව බන්ධනාගාරගතව සිටින අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු දෙදෙනා බැලීමට ගිය මන්ත්‍රීවරු පිරිසකගෙන් ඉල්ලීමක් කර ඇති ඇතැයි වාර්තාවේ.
හිටපු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයකු වන අනුරාධ ජයරත්න මහතා මන්ත්‍රීවරු පිරිසක් මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු බැලීමට පසුගියදා වැලිකඩ බන්ධනාගාරයට ගොස් ඇත.
එහිදී මෙම ඉල්ලීම කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
“ඔවුන් දෙදෙනා බන්ධනාගාරයේ වෙනත් ස්ථානයකට කැඳවාගෙන ආ අවස්ථාවේදී අපි ඒ දෙන්නා හම්බවුණා.දෙන්නම ජම්පර ඇඳගෙන හිටියේ. හොඳටම මානසිකව ඇද වැටිලා.
දැක්කම හරි කනගාටු හිතෙනවා.මොනවා කරන්නද? කොහොම වුණත් අධිකරණයෙන්ම තමයි දෙන්නටම යම් සහනයක් ගන්න වෙන්නේ” එහි ගිය මන්ත්‍රීවරයෙක් පවසා තිබෙනවා.
ඉකුත් 2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඞ් 14,000 ක් සහ දාම් බෝඩ් 11,000 ක් මිලදී ගෙන ක්‍රීඩා සංගම් වලට බෙදා දීමෙන් රජයට රුපියල් කෝටි පහකට වැඩි පාඩුවක් කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු යන දෙදෙනා එම චෝදනාවලට වරදකරුවන් කරමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සිය තීන්දුව පසුගිය මස 29 වැනිදා ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව හිටපු වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතාට බරපතළ වැඩ සහිතවසර 25ක සිර දඬුවමක් ද, හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවමක් ද නියම කෙරිණ.
මේ අතර එම මන්ත්‍රී කණ්ඩායම රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ද පසුගියදා හමුවී සුව දුක් විමසා ඇතැයි වාර්තාවේ.
ඔහු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින්නේ රත් ආලේපිත තැනූ ගිනි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනාවකටය.
(උපුටා ගැනීම – ලංකාදීප පුවත්පත)