මැදපෙරදිග කලාපයේ උණුසුම් වී ඇති යුදමය තත්ත්වය පිළිබඳව රජයේ ස්ථාවරය අද (03) පාර්ලිමේන්තුවේදී පැහැදිලි කරමින් අනුර කුමාර දිසානායක මහතා සියලු පාර්ශ්වයන් ඉක්මනින් සාමකාමී විසඳුමකට පැමිණිය යුතු බව අවධාරණය කළේය.
ඔහු සඳහන් කළේ, ඕනෑම යුද ගැටුමක් කිසිදු ජන කණ්ඩායමකට හිතකර නොවන බවයි. විශාල තාක්ෂණික හා සන්නද්ධ බලයෙන් සමන්විත වර්තමාන ලෝකයේ, යුද්ධයක් මඟින් ඇතිවිය හැකි විනාශය කෙතරම්ද යන්න පිළිබඳව සියලුදෙනා අවබෝධයෙන් කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා පැවසීය.
ලංකාවට ඇති විය හැකි බලපෑම්
මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට ද සෘජු හා පරෝක්ෂ බලපෑම් ඇති කළ හැකි බව ඔහු පෙන්වා දුන්නේය. විශේෂයෙන්,
* තෙල් සහ ගෑස් සැපයුම්
* විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව
* සංචාරක කර්මාන්තය
* විදෙස් ප්‍රේෂණ
* නාවික හා ගුවන් සේවා
යන ක්ෂේත්‍රවල ගැටලු මතුවිය හැකි බව අවධාරණය කළේය.
රටක් ලෙස මෙම තත්ත්වයට මුහුණදීමට කෙටි හා දිගු කාලීන සැලසුම් සකස් කරමින් සිටින බවද, ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමින් සිදුවන සාම ප්‍රයත්න අත්‍යවශ්‍ය බවද ඔහු සඳහන් කළේය.
ආර්ථික සහ ඉන්ධන තත්ත්වය පිළිබඳ විස්තර
වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් මහ බැංකුව විසින් ආර්ථික බලපෑම් පිළිබඳ සමාලෝචනයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවත්, මුදල් අමාත්‍යාංශය ජන ජීවිතයට ඇති විය හැකි බලපෑම් පිළිබඳ වෙනම වාර්තාවක් සකස් කරමින් සිටින බවත් ජනාධිපතිවරයා පැවසීය.
ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් ද ඔහු විශේෂ අවධානය යොමු කළේය. දැනට රට තුළ,
* ඩීසල් – දින 33කට ප්‍රමාණවත්
* පෙට්‍රල් – දින 27කට ප්‍රමාණවත් (ඉදිරි නැව් පැමිණීමත් සමඟ දින 40කට ආසන්න)
* ගුවන් යානා ඉන්ධන – දින 49කට ප්‍රමාණවත්
* බොරතෙල් – දින 44කට පිරිපහදුව දුවවීමට හැකි ප්‍රමාණයක්
තිබෙන බව ඔහු පැහැදිලි කළේය.
එසේම, ගබඩා ධාරිතාව සීමිත වීම හේතුවෙන් නැව් පැමිණීම හා ගබඩා හිස් කිරීම සැලසුම්ගතව සිදුකළ යුතු බවත්, දැනට කිසිදු ඉන්ධන අර්බුදයක් නොමැති බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
එක්සත් ප්‍රතිචාරයක් අවශ්‍යයි
“සමස්ත අර්බුදයේ විසඳුම තනි පුද්ගලයෙකු අතේ නැහැ. ආණ්ඩුව, පාර්ලිමේන්තුව සහ ජනතාව එකම අරමුණක් යටතේ කටයුතු කළ යුතුයි,” යනුවෙන් ජනාධිපතිවරයා සඳහන් කළේය.
සාමකාමී ලෝකයක් සඳහා ජාත්‍යන්තර වශයෙන් ගනු ලබන පියවර සමඟ එකතු වෙමින්, රට තුළ ස්ථාවරතාවය රැකගැනීම රජයේ ප්‍රමුඛ වගකීම බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.(Ape Rata)







