විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන සළිඳු මල්ශිත හෙවත් “පානදුර කුඩු සළිඳු”ට අයත් බව කියන රුපියල් කෝටි 02කට ආසන්න වටිනාකමකින් යුත් දේපළ තහනම් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරන්නේ, පානදුර – රත්නපුර මාර්ගයේ මහබෙලන හන්දියේ පිහිටි මෙම දේපළ අතර පර්චස් 40ක භූමි භාගයක ඉදිකර ඇති නිවසක්, ගබඩා සංකීර්ණයක් සහ කඩ කාමරයක්ද ඇතුළත් වන බවයි.
මෙම සැකකරු පසුගිය කාලයේ විදේශගතව සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ආ අතර, අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමෙන් පසු හොර රහසේ නැවත විදේශ රටකට පලා ගොස් ඇති බවද වාර්තා වේ.
පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බව සැක කරන මුදල් භාවිතා කර මෙම දේපළ මිලදීගෙන ඇති බවයි. ඒ අනුව දීර්ඝ විමර්ශනයකින් අනතුරුව එම දේපළ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.
පසුගිය කාලය පුරා “කුඩු සළිඳු” සහ පානදුර කුඩු නිලංග අතර ඇති වූ ගැටුම් හේතුවෙන් පානදුර දකුණ, හිරණ සහ පින්වත්ත පොලිස් බල ප්‍රදේශවල වෙඩි ප්‍රහාර කිහිපයක් සිදුව පුද්ගලයින් කිහිප දෙනෙකු මියගොස් තිබුණි.
කෙසේවෙතත්, “කුඩු නිලංග” ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු එම ගැටුම් තත්ත්වය තරමක් පහව ගොස් ඇති බවද වාර්තා වේ.
මේ වන විට “කුඩු සළිඳු” විදෙස් රටක සැඟව සිටින බවට සැක කෙරෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතියි.







