චීනයට රහස් විකුණූ අමෙරිකානු නාවිකා සෙබළා අවුරුදු 16ක් හිර ගෙට..

989

චීනය වෙනුවෙන් ඔත්තු බැලූ බවට වරදකරු වූ අමෙරිකානු නාවික හමුදාවේ හිටපු සෙබළෙකුට මාස 200ක එනම් වසර 16කට වැඩි සිරදඬුවමක් නියම කළ බව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

පැට්‍රික්-වෙයි ලෙස ද හඳුන්වන ජින්ෂාඋ-වෙයි නමැති ඔහු 25 හැවිරිදි අයෙක්.

ඔහු 2023 අගෝස්තු මාසයේදී සැන් ඩියාගෝ නාවික කඳවුරේ ‘USS Essex’ නෞකාවේ සේවයට වාර්තා කරද්දී අත්අඩංගුවට ගෙන තිබුණා.

අධිකරණයේදී අනාවරණය වූයේ ඔහු අමෙරිකාවේ ජාතික ආරක්ෂක තොරතුරු චීන බුද්ධි නිලධාරියෙකුට ඩොලර් 12,000කට විකුණා ඇති බවයි.
මෙම සෙබළා තමා දිවුරුම් දුන් රට පාවා දී ජාතික ආරක්ෂාව අනතුරේ හෙළා ඇති බව නියෝජ්‍ය නීතිපති ටොඩ් බ්ලැන්චේ පැවසුවා.

සහකාර නීතිපති ජෝන් ඒ. අයිසන්බර්ග් ප්‍රකාශ කළේ, පුද්ගලික ලාභය වෙනුවෙන් හමුදා රහස් විකුණන අයට මෙම දඬුවම දැඩි පාඩමක් වනු ඇති බවයි.

වෙයි විසින් චීනයට ලබා දී ඇති තොරතුරු අතර USS Essex නෞකාවේ ආයුධ පද්ධති, එන්ජින් පද්ධති සහ ජලය පිරිපහදු කිරීමේ පද්ධති පිළිබඳ රහස් තොරතුරු ඇතුළත්.

ඔහු නාවික හමුදා මෙහෙයුම් අත්පොත් 60ක් පමණ සහ දහස් ගණනක තාක්ෂණික ලේඛන චීනයට ලබා දී තිබෙන බව සඳහන්.

මේවා අතර නෞකා බලශක්ති පාලනය, ආයුධ පාලනය සහ හානි පාලනය පිළිබඳ ඉතා සංවේදී තොරතුරු ඇතුළත් බවයි අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පවසන්නේ.

2022 පෙබරවාරි 14 වන දින සමාජ මාධ්‍ය හරහා චීන බුද්ධි නිලධාරියෙකු විසින් වෙයි සම්බන්ධ කර ගෙන තිබුණා.

මුලදී එම පුද්ගලයා නාවික හමුදා ලෝලියෙකු ලෙස පෙනී සිටියද, මෙය පැහැදිලිවම ඔත්තු බැලීමක් බව වෙයි තේරුම් ගෙන තිබුණා.

ඔහුගේ මිතුරෙකු එම සම්බන්ධතාව නතර කරන ලෙස උපදෙස් දුන්නද, වෙයි එය නොසලකා හරිමින් වඩාත් ආරක්ෂිත පණිවිඩ යෙදුම් හරහා චීනයට තොරතුරු සැපයීම ආරම්භ කර තිබෙනවා.

වෙයි තම අදාළ චීන නිලධාරියා සමග සන්නිවේදනය කිරීමට බිග් බ්‍රදර් ඇන්ඩි යන නම භාවිතා කර තිබෙනවා.

ඔවුන් පණිවිඩ මකා දැමීම, පැය 72කින් මැකී යන ඩිජිටල් ක්‍රම භාවිතා කිරීම සහ තොරතුරු හුවමාරු කිරීමට අලුත්ම පරිගණක සහ දුරකථන භාවිතා කර තිබෙනවා.

ඔහුට ගෙවීම් කර ඇත්තේ මාර්ගගත ක්‍රම හරහායි.

නඩු විභාගයේදී වෙයි හට එරෙහිව දුරකථන සංවාද, ශ්‍රව්‍ය පණිවිඩ සහ ඔහු අතින් ලියන ලද රිසිට්පත් සාක්ෂි ලෙස ඉදිරිපත් කෙරුණා.

අත්අඩංගුවට ගත් පසු කළ ප්‍රශ්න කිරීම්වලදී තමා කළේ ඔත්තු බැලීමක් බවත්, තමා දැන් අමාරුවේ වැටී ඇති බවත් ඔහු පිළිගත්තා.

මෙම විමර්ශනය අමෙරිකානු බුද්ධි අංශයක් වන එෆ්.බී.අයි (FBI) සහ නාවික අපරාධ විමර්ශන සේවය (NCIS) විසින් සිදු කර තිබෙනවා.

වෙයිට එරෙහිව ඔත්තු බැලීමේ කුමන්ත්‍රණය ඇතුළු අපරාධ හයකට දඬුවම් නියම වූ අතර, පුරවැසිභාවය ලබා ගැනීමේදී වංචා කිරීමේ චෝදනාවෙන් ඔහු නිදහස් වුණා.

උපුටාගැනීම – හිරු නිව්ස්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!