මීට ඉහත අවස්ථා ගණනාවකදී ඇය ගැන කතා කළත්, අද ඇය ගැන ඇසුණේ විශේෂ ආරංචියක්.
ඒ, එම ඝාතනයෙන් මාස 8කට ආසන්න කාලයකට පසුවයි.
අලුත්කඩේ උසාවි සංකීර්ණයේදී ගණේමුල්ල සංජීවට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ මහ මොළකාරිය ලෙස නම් කළ ඉෂාරා සෙව්වන්දි නමැති තරුණිය නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ලේ සංජීව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ මැදිරි අංක 05 තුළදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්වුණේ පසුගිය පෙබරවාරි 19 වැනිදායි.
නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි පුද්ගලයෙකු වෙඩි ප්‍රහාරය එල්ල කර තිබූ අතර නීතිඥවරියක ලෙස වෙස්වළාගත් කාන්තාවක් ද ඊට සම්බන්ධ වී තිබූ අතර ඔවුන් පලායන ආකාරය CCTV දර්ශනවලද දැක්වුණා.
එම කාන්තාව 26 හැවිරිදි පිංපුරදේවගේ ඉෂාරා සෙව්වන්දි ලෙස පොලිසිය හඳුනාගෙන තිබූ අතර ගනේමුල්ල සංජීවට වෙඩි තැබීම සඳහා භාවිත කළ ගිනි අවිය දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් තුළ සඟවා ගෙනැවිත් වෙඩික්කරුට ලබාදී ඇත්තේ ඇය විසින් බවයි අනාවරණ වුණේ.
වෙඩි තැබීමේ සිද්ධියත් සමග ආරක්ෂක අංශ වෙඩික්කරු ලුහුබඳිමින් සිටි අතර හදිසි මාර්ග බාධක යොදා පුත්තලම – පාලවිය ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී වෙඩික්කරු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගැනුණා.
කෙසේවෙතත් නීතිඥවරියක ලෙස වෙස්වළාගෙන පැමිණි 26 හැවිරිදි පිංපුරදේවගේ ඉෂාරා සෙව්වන්දි සොයාගැනීමට නොහැකි වූ අතර ඇය සොය පොලිසිය දිවයිනේ ප්‍රදේශ රැසක සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබුණා.
ගනේමුල්ල සංජීව ඝාතනය සැලසුම් කළ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් කණ්ඩායම ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වුණේ එවැනි පසුබිමකයි.
ඔවුන් මෙරටට රැගෙන ඒමෙන් පසු කෙහෙල්බද්දර පද්මේගෙන් මේ දක්වා කරන ලද ප්‍රශ්න කිරීම්වලට අනුව ඉෂාරා සෙව්වන්දි නේපාලයේ රැඳී සිටින බවට අනාවරණ කරගැනීමට හැකිව තිබෙනවා.
ඒ අනුව බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් නේපාලය බලා පිටත්ව ගොස් තිබුණා.
එහිදී එරට පොලිසියේ ද සහය ඇතිව ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස රැඳී සිටි ස්ථානය සොයාගත් පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, නේපාලයේ කත්මන්ඩු අගනුවරට කිලෝමීටර කිහිපයක් දුරින් වූ කඳුකර ප්‍රදේශයක පිහිටි මහල් නිවාසයකදීයී.
ඇයත් සමග සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතරඉෂාරා සෙව්වන්දිට සමාන රුවක් ඇති තවත් කාන්තාවක් මෙන්ම කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙකු ද ඒ අතර සිටින බවයි පොලිසිය සඳහන් කළේ.
සෙව්වන්දිට සමාන රුව සහිත කාන්තාව යොදාගෙන නේපාලයෙන් වෙනත් රටකට පලායාමේ සැලසුමක් ද පැවැති බවට පොලිසිය සැක පළ කරනවා.
කෙහෙල්බද්දර පද්මේගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ගණේමුල්ල සංජීව ඝාතනයෙන් පසු ඉෂාරා සෙව්වන්දි දින 4ක් මෙරට රැඳී සිට ඇති බවයි.
ඒ අතරතුර ඇය මිද්දෙණිය සහ යාපනය ප්‍රදේශවල සැඟවී සිට ඇති බව සඳහන්.
ඒ සඳහා ඇයට උපකාර කර ඇත්තේ යාපනයේ පදිංචිව සිටි J.K. බායි නමැති සිය ගෝලයා බවයි කෙහෙල්බද්දර පද්මේ පවසා ඇත්තේ.
අනතුරුව ඔවුන් ඉන්දියාවට පලාගොස් ගොස් එරට සති තුනක් රැඳී සිට ඇති අතර පසුව නේපාලය වෙත පැමිණ තිබෙනවා.
කෙහෙල්බද්දර පද්මේ J.K. බායි සමග වට්ස්ඇප් හරහා ගනුදෙනු කර ඇති අතර ඉෂාරා සෙව්වන්දිට නේපාලයේ රැඳී සිටීම ඇතුළු නඩත්තු කටයුතු වෙනුවෙන් කෙහෙල්බද්දර පද්මේ විසින් අවස්ථා කිහිපයකදී රුපියල් ලක්ෂ ගණනින් මුදල් දී ඇති බවටත් අනාවරණය වූ බවයි පොලිසිය පැවසුවේ.
J.K. බායි සහ ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පළා යාමට පෙර මිද්දෙණිය ප්‍රදේශයේ රැඳී සිටි බවට තොරතුරු පවතින බැවින් පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයෙන් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය සොයාගැනීමේ සිද්ධියට අදාළව රැඳවුම් නියෝග මත සිටි සම්පත් මනම්පේරි සමග ඔවුන්ට සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳවත් පරීක්ෂණ පවත්වන බව පොලිසිය පැවසුවා.
ඉෂාරා සෙව්වන්දී ඇතුළු අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා ඉදිරියදෙී දිවයිනට රැගෙන ඒමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.
Source – Hiru Gossip







