BREAKING NEWS
Search

අපි සමරන්නේ, අනුස්මරණය කරන්නේ ප්‍රතිපත්ති පාවා දෙනවා වෙනුවට මරණය තෝරා ගත් මිනිසුන් පිරිසක් – ටිල්වින් සිල්වා

450

 

අද තම පක්ෂය සමරන්නේ, අනුස්මරණය කරන්නේ මරණයට අභියෝග කළ මිනිසුන් බවත්, අඳුරු ම පැයේ දී ඕනෑම මොහොතක ජීවිතය නැති වීමට ඉඩ තිබූ අසීරුතම පැයේ දීත්, ප්‍රතිපත්ති පාවා දෙනවා වෙනුවට මරණය තෝරා ගැනීමට සූදානම් බව ඔප්පු කළ පිරිසක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (13) පැවති 36වන ඉල්මහ විරු සමරුවේ දී ය.

එම සැමරුමේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා…

ධෛර්යය, ශක්තිය, දැනුම තව තවත් අවශ්‍යයි

”ආදරණීය සහෝදර සහෝදරියනි, අපි මෙතැනට එකතු වී ඉන්නේ වෙනස් තත්ත්වයක් තුළ 36 වැනි ඉල් මහ විරු සමරුව වෙනුවෙන්. මේ වාගේ ම එකතු වෙලා අප මීට කලින් වසර ගණනාවක් අඛණ්ඩව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ, අපේ රටේ පොදු ජනයාට තමන්ගේ ම වූ පක්‍ෂයක් නිර්මාණය කර ඒ පක්‍ෂය වෙනුවෙන් අවසන් ගමන් ගිය රෝහණ විජේවීර සහෝදරයා, ප්‍රධාන ලේකම්, උපතිස්ස ගමනායක සහෝදරයා ඇතුළු සහෝදර, සහෝදරියන් සිහිපත් කර ඔවුන්ගේ ශක්තිය, ධෛර්යය, ආදර්ශ එකතු කර ගනිමින්, අපේ පක්‍ෂය ජයග්‍රහණය කරා ගෙන ආවා.

අද අප ඇවිත් සිටින්නේ ශක්තිය, ධෛර්යය පුරවාගෙන ජනතාවගේ පාලනයක් නිර්මාණය කිරීමෙන් පසුව මේ රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, අධිෂ්ඨානය හදවතේ පුරවාගෙන යන්න. ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ගොඩනැගීම වෙනුවෙන් ධෛර්යය, ශක්තිය, දැනුම තව තවත් අවශ්‍යයි. අප මේ අනුස්මරණය කරන්නේ සාමාන්‍ය මිනිසුන් නොවෙයි, මරණයෙන් පසුවත් සමාජයට දැනෙන පිරිසක්. කිසියම් පිරිසක් මරා දැමුණු පසුව ජීවත්ව සිටියාට වඩා දැනෙනවා නම්, ඔවුන් විශේෂ පිරිසක්. අප අද සමරන්නේ ඉල් මහේ දී උදුරා ගත් අපේ එවැනි සහෝදර, සහෝදරියන් පිරිසක්.

අපේ සතුරන් වරද්දා ගන්නා තැන

ඒ වාගේ ම අප මේ සමරන්නේ මරණයට අභියෝග කළ මිනිසුන්. අඳුරු ම පැයේ දී ඕනෑම මොහොතක ජීවිතය නැති වීමට ඉඩ තිබූ අසීරුතම පැයේ දීත්, ප්‍රතිපත්ති පාවා දෙනවා වෙනුවට මරණය තෝරා ගන්න ලැහැස්ති බව ඔප්පු කළ පිරිසක් අප අනුස්මරණය කරන්නේ. රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු අපේ සහෝදර, සහෝදරියන් ජීවිතයට අර්ථයක් එකතු කළා වාගේ ම මරණයටත් අර්ථයක් එකතු කළා. මරණය අතේ තියාගෙන සටන් කළ පිරිසක් මෙතැනත් ඉන්නවා. අපි කවුරුත් එකතු වෙලා අධිෂ්ඨානයෙන් යුතුව අපේ ව්‍යාපාරය රැකගෙන මේ රටේ පොදු ජනතාවගෙන් සාතිශය බහුතර පිරිසක් ලබා දුන් ඡන්දයෙන් බලයට ගෙන එන්න හැකි වී තිබෙනවා. ඒ සඳහා වූ දේශපාලන පදනම නිර්මාණය කර, දැනුම සහ අත්දැකීම් ලබා දුන් ජනතා විමුක්ති පෙරමුණ මුල් වී මහජන ව්‍යාපාරයක් ගොඩනඟා තිබෙනවා.

අපේ සතුරන් වරද්දා ගන්නේ ජනතා විමුක්ති පෙරමුණ සාම්ප්‍රදායික පක්‍ෂයක් ලෙස කල්පනා කිරිම නිසයි. නමුත්, අප ගොඩනඟා තිබෙන්නේ මරණයෙන් හෝ වළක්වන්න බැරි මිනිසුන්ගෙන් සමන්විත මහජන ව්‍යාපාරයක්. මේ රටේ ජනතාවගේ නිදහස, ගෞරවය, විමුක්තිය වෙනුවෙන් නිර්මාණය කළ ගැඹුරට මුල්බැසගෙන තිබෙන ව්‍යාපාරයක්. තමන්ට කිසිවක් බලාපොරොත්තු නොවී කැප කරමින්, සහෝදරත්වය, සාමුහිකත්වය සහ විනය මත ගොඩනැඟී තිබෙන ජනතා විමුක්ති පෙරමුණට අභියෝග නැහැ.

කවුරුහරි හිතාගෙන ඉන්නවා නම්, හාර පන්දහසක් ගෙනැවිත් රැස්වීමක් තියලා අපව භය කරන්න ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එහෙම බැහැ. අපේ රටේ හරියට උද්ඝෝ’ෂණයක් කරන සංස්කෘතිය හදා දී තිබෙන්නේ අපි. හරියට පෙළපාළියක් යන්නේ කොහොම ද කියලා පෙන්වා දී තිබෙන්නේ අපි. ඔවුන් ආණ්ඩුව වට්ටන්න පන්දාහක් අරගෙන ආවොත්, පනස්දාහක් අරගෙන පාරට බහින්න පුළුවන් ව්‍යාපාරයක් අපි බව මතක් කරන්න ඕනැ. ඒ නිසා සෙල්ලම් ගෙවල් හදන්න ලැස්ති වෙන්න එපා කියලා මතක් කරනවා.

 

මේ ගමන කිසිදු බාධාවකින් නතර කරන්න බැහැ

තනතුරු ගන්න, දේපළ ගොඩනගන අරමුණු අපට නැහැ. අප බලය අරගෙන තිබෙන්නේ ජනතාවට ඉහළින් ඉන්න නොවෙයි, මීට වඩා සැපවත්, ප්‍රීතිමත් ජීවිතයක් සමස්ත ජනතාවට ලබා දෙන්නයි, සමාජවාදී මූලධර්ම මත නිර්මාණය කරන ලස්සන සමාජයක් ගොඩනගන්න යන මේ ගමන කිසිදු බාධාවකින් නතර කරන්න බැහැ කියන පණිවුඩය අපි ලබා දෙනවා.

රෝහණ සහෝදරයා, ගමනායක සහෝදරයා ඇතුළු පිරිස ගොඩනැගුවේ නායකයන් මරා දැමුණු පසුවත්, ජයග්‍රහණය කරා ගොස් ආණ්ඩු බලය ලබා ගන්න පුළුවන් බව ඔප්පු කළ පක්‍ෂයක්. කුමන බාධක ආවත්, කුමන අභියෝග ආවත් අපි අපේ ජීවිත පරදුවට තබා මේ රටේ ජනතාව වෙනුවෙන් සාධාරණ සමාජයක් හදන්න සටන් වදින බව නැවත මතක් කරන්න ඕනෑ.

සතුරන් පසුගිය කාලයක් පුරා ම අසූඅට – අසූනවය භීෂණය, අසූඅට අසූනවය ජේ.වී.පී. භීෂණය ආදී වශයෙන් කතා හැදුවා. නමුත්, 1977 ජයවර්ධනගේ පාලනය බිහි වූ දා සිට ප්‍රජාතන්ත්‍රවාදයට ඇත්ත භීෂණයට මුහුණ දෙන්න සිදු වුණා. විරුද්ධවාදීන්ට පහර දීම, දේපළ ගිනි තැබීම, ජාතිවාදය ඇවිළවීම තුළින් පටන් ගත්තේ. ආණ්ඩුවට විරුද්ධ කිසිවකුට ප්‍රජාතන්ත්‍රවාදීව වැඩ කරන්න දුන්නේ නැහැ. වෘත්තීය සමිති මර්දනය කළා. සරච්චන්ද්‍ර මහත්තයාට මැර කණ්ඩායම් එදා පහර දුන්නා. හැම දිස්ත්‍රික්කයක් ම භාර දුන් මැර ඇමැති කෙනෙක් හිටියා. හැම නගරයක් ම භාර දී තිබූ ඔවුන්ගේ දේශපාලන මැරයෙක් හිටියා. මේ මැදින් ජනතා විමුක්ති පෙරමුණ 1981 සංවර්ධන සභා මැතිවරණයට ඉදිරිපත් වී මන්ත්‍රීවරුන් 13 දෙනෙක් ජනතාව විසින් තේරා පත් කර ගත්තා. 1982 ජනාධිපතිවරණයට රෝහණ සහෝදරයා අපේක්‍ෂකයෙක් ලෙස ඉදිරිපත් වුණා. ඊට පස්සේ දෙසැම්බර් මාසයේ පාර්ලිමේන්තු මහා මැතිවරණය කල් දමන ජනමත විචාරණය ගෙන ආවා. පාර්ලිමේන්තුව කල් දැමීමට විරුද්ධව රට පුරා රැස්වීම් තිබ්බා. ඊට පස්සේ පැමිණි අතුරු මැතිවරණ හැම එකකට ම තරග කළා. ප්‍රජාතන්ත්‍රවාදීව අප කටයුතු කරද්දී, ජේ. ආර්. ජයවර්ධන කුමන්ත්‍රණකාරීව කළු ජූලිය නිර්මාණය කර කිසි ම චෝදනාවකින් තොරව ජනතා විමුක්ති පෙරමුණ තහනම් කර මර්දනය කරන්න පටන් ගත්තා.

”මෙතෙක් පැවැති සටන්වල ඉතිහාසය වූ කලී පන්ති සටන්වල ඉතිහාසයයි”

දිගින්දිගට ම ගෙන ගිය මර්දනයත් එක්ක සිවිල් යුද තත්ත්වයක් නිර්මාණය වුණා. අපේ පන්තිය වෙනුවෙන් ජනතාව වෙනුවෙන් දේශපාලනය කිරීමේ අපේ අයිතිය වෙනුවෙන් තහනම ඉවත් කර ගන්න මුලින් ම උත්සාහ ගත්තා. තහනම ඉවත් නොකළා ම තහනම තුළ වැඩ කරන්න පටන් ගත්තා. ඒ තුළ ඔවුන් අවිවලින් අප මර්දනය කිරීම නිසා ඊට ප්‍රතිචාර දක්වන්න අපට සිදු වුණා. ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කර රට පාවා දීමට එරෙහිව දේශප්‍රේමී ජනතාව අරගල කරන්නට පටන් ගත්තා.

අද ඒකාධිපතිත්වය ගැන කතා කරන මහත්වරු එදා හිටියේ නැහැ. බටලන්ද ගැන කතා කළේ නැහැ. මේ රටේ ජනතාවට වඩා හොඳ ජීවිතයක් ලබා දෙන අරමුණින් දේශපාලනය කළ අප මර්දනය කළේ ඔවුන්. මුළු ඉතිහාසය පුරාමත් එහෙමයි. කාල් මාක්ස්, එංගල්ස් දෙදෙනා ප්‍රකාශ කළේ මෙතෙක් පැවැති සටන්වල ඉතිහාසය වූ කලී පන්ති සටන්වල ඉතිහාසයයි කියලා. පීඩිතයා සහ පීඩකයා අතර විටෙක එළිමහනේ ද, විටෙක රහසිගතව ද සටනක් තිබුණා. මිනිස්සු හැම දා ම පීඩනය දරාගෙන ඉන්නේ නැහැ. වහල් යුගයේ දී පීඩාවට එරෙහිව නැඟීසිටීමට නායකත්වය දුන්නේ ස්පාටකස්. ස්පාටකස් ඇතුළු කණ්ඩායම ම ඝාතනය කළා. නමුත්, වහල් ක්‍රමය හැම දා ම තියා ගන්න හැකි වුණේ නැහැ. ලෝක ඉතිහාසය පුරා ම හොඳ ජීවිතයක් වෙනුවෙන් යුක්තිය, සාධාරණය වෙනුවෙන් මිනිසුන් සටන් කළා. ඒ තමයි, මිනිස්සු. ඒක මිනිසුන්ගේ අයිතියක්. සත්තු වාගේ කරබාගෙන ඉන්න අය නොවෙයි, මිනිස්සු.

අපි, ප්‍රජාතන්ත්‍රවාදය මැරෙන්න දෙන්නෙ නෑ

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් මේ රට යටත් කර ගත්තා ම ඊට එරෙහිව 1818දී ඌව වෙල්ලස්සේ කැරැල්ලක් ඇති වුණා. ඒ නායකයන් ත්‍රස්තවාදීන්, දේශද්‍රෝහීන් කියලා අධිරාජ්‍යවාදීන් විසින් නම් කරනු ලැබුවා. 1848 මාතලේ කැරැල්ල තුළ දී කච්චේරියට ගිනි තිබ්බා. ලෝකයේ ම මිනිසුන් තමන්ට එල්ල වන පීඩාව දරා ගන්න බැරි වුණා ම සටන් කළා. ඒ සටනේ හොඳ, නරක තීරණය කරන්න අයිතියක් පීඩකයන්ට නැහැ.

එන්.පී.පී. එක ඒකාධිපති ගමනක් යනවා, මැර දේශපාලනයක් කරනවා කියලා ඒ කාලයේ මැර නායකයන් කියාගෙන සිටි උදවිය අද අපට කියනවා. ජේ. ආර්.ගේ කාලයේ ගෝනවල සුනිල්, ප්‍රේමදාසගේ කාලයේ සොත්ති උපාලි, මහින්ද රාජපක්‍ෂගේ කාලයේ ජූලම්පිටියේ අමරේ වාගේ මැරයන්ගෙන් වැඩ ගත්තා. අධිකරණයෙන් දඬුවම් නියම කළ ගෝනවල සුනිල්ව ජනාධිපති සමාවෙන් නිදහස් කර ගමට ගෙන ගියේ ඇතා පිටින්. ඒ මැරයන්ට සමදාන විනිශ්චයකාර පදවි දුන් අය අපට ඒකාධිපති කතා කියනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම වැඩියෙන් ම දන්නා පක්‍ෂය අපි. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය මැරෙන්න දෙන්නෙත් නෑ. මරන්න දෙන්නෙත් නෑ කියලා අවධාරණය කරනවා.

හැබැයි, ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කොමිස් ගහන එකට නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ, මහජන මුදල් හොරා කන එකට නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ, මහජන මුදල්වලින් සැප විඳින එකට නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ, කුඩු විකුණන අයට කුඩු විකුණන්න දීලා බලාගෙන ඉන්න එකට නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ, පාතාලය නඩත්තු කරන එක නොවෙයි. ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කළ මිනිස්සු පාතාලය, මත්කුඩු නවත්වන්න ක්‍රියා කරන කොට ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරනවා කියලා කෑගහනවා. නීති විරෝධී, ජනතාව තළා පෙළා වැඩ කරන්න කිසිවකුට අයිතියක් නැහැ. හැමෝට ම නීතිය සමානව ක්‍රියාත්මක කෙරෙන රටක් හදලා තියෙනවා. අපට මේ රට හදන්න තියෙනවා. ඒක සරල එකක් නොවෙයි. සියවස් ගණනක් තිබුණු සමාජයක් වෙනස් කරලා අලුතින් නිර්මාණය කරන එක ලෝකයේ තිබෙන දුෂ්කර ම කාර්යයක්.

”ඔබ මෙන් ම ඔබේ සතුරා සඳහාත් ප්‍රතිපත්තිගරුක විය යුතුයි”

ජනතාවගේ සමහර පුරුදු වෙනස් කරන්න අමාරුයි. බලෙන් වෙනස් කරන්න බැරි බවත් අප දන්නවා. ඉවසීමෙන් කරන්න ඕනෑ බව අපි දන්නවා. අප කවුරුත් මුහුණ දී සිටින්නේ ඒ අභියෝගයට. ඕනෑ ම හොඳ වැඩකට අකුල් හෙළා ජනතාව නොමග යවන පිරිසක් ඉන්නවා. මේ රට වෙනුවෙන් අවුරුදු දෙසියයක් තිස්සේ මහන්සි වුණු, මේ පොළොවට පස් වී වැවිලි කර්මාන්තය ගොඩනැගූ මලයගම් ජනතාවට ජීවිතයක් ලබා දෙන්න ඕනෑ. ඒ වෙනුවෙන් දවසකට රුපියල් දෙසියයක දීමනාවක් රජයෙනුත් ලබා දෙන්න අය-වැයෙන් යෝජනා කළා ම ඊනියා විපක්‍ෂයේ කට්ටිය ඒක නවත්වන්න උසාවි යනවා. ඉතා ම පීඩාවකට පත් වූ ජනතාවකට යම් මුදලක් දෙන්න ගියා ම ඊට විරුද්ධව උසාවි යන අය මිනිස්සු ද? මේ වාගේ බාධා තිබෙනවා.

සමාජයක් වෙනස් කරන්න යන කොට අපත් වෙනස් වී, රාජ්‍ය යාන්ත්‍රණය වෙනස් කරන්න ඕනෑ. වෙනස් වෙමින්, වෙනස් කිරීමේ අමාරු ම කාර්යභාරය ඉතා හොඳින් කිරීමට අවශ්‍ය ගුණාංග ඉල් මහ විරුවන් අපට ලබා දී තිබෙනවා. අපට දර්ශනයක්, දැක්මක් සහිතව සැලැසුම්සහගතව ක්‍රියා කිරීම සහ පවතින තත්ත්වයන්ට අනුකූලව ප්‍රතිපත්තිගරුකව ක්‍රියා කිරීමේ ආදර්ශය සහ දැනුම ලබා දුන්නේ ඉල් මහ විරුවන්. පිදෙල් කැස්ත්‍රෝ වරක් සඳහන් කළේ ඔබ මෙන් ම ඔබේ සතුරා සඳහාත් ප්‍රතිපත්තිගරුක විය යුතුයි කියලා. අප සතුරන්ට අපහාස කරන්නෙන් නැහැ. ඒ වාගේ ම සතුරන්ට සහ ද්‍රෝහීන්ට සමාව දෙන්නෙත් නැහැ. අපහාස කරන්නේ ප්‍රතිපත්ති, තර්ක, කරුණු නැති අය. විශේෂයෙන් ම මේ දවස්වල අපේ සහෝදරියන්ට ඇති තරම් අපහාස කරනවා. අපේ පැවැත්ම සහ ජයග්‍රහණය තිබෙන්නේ ප්‍රතිපත්ති මත වැඩ කිරීම තුළ. ඒ වාගේ ම න්‍යාය කටපාඩම් කරගෙන ඒ තුළ ඉන්න ව්‍යාපාරයක් නොවෙයි, න්‍යාය භාවිතයට යොදා ගන්නා ව්‍යාපාරයක් අපි. වාමාංශික දේශපාලන න්‍යයයන් අපේ රටට ගළපා භාවිතයට නගන්නේ කොහොම ද කියලා රෝහණ සහෝදරයා අපට ඉගැන්නුවා. න්‍යායවල් තියෙන්නේ කටපාඩම් කරන්න නොවෙයි, ක්‍රියාවට නගන්න. මේ රටේ සිදු වූ වෙනස තේරුම්ගෙන වෙනස් වෙන්න කැමැති නැති විපක්‍ෂය වඳ වෙමින් යනවා. අප මේ විදියට තව අවුරුදු හතරක්, පහක් ගියා ම ඔවුන්ට නතර වෙන්න වෙන්නේ රතු දත්ත පොතේ.

පරිත්‍යාගශීලීත්වයේ ගුණය අප හැමෝට ම ආඩම්බරයක්

පවතින තත්ත්වයට අනුව අපේ අරමුණු ගළපාගෙන අලුත් උපාය උපක්‍රම යොදන්න රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු අපේ ගුරුවරුන්ගෙන් ඉගෙන ජයග්‍රහණය කරා ආවා. ඒ කාලේ අපට කීවේ විජේවීරගේ ප්‍රතිපත්ති ගෙනෙන්න යනවා කියලා. දැන් කෑගහන්නේ විජේවීර සහෝදරයාගේ ප්‍රතිපත්ති අත්හැරලා කියලයි. රෝහණ සහෝදරයා අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ලබා ගත්ත ප්‍රකාශයෙන් අපට දුන් පණිවුඩය වූයේ සතුරා සියලු උපක්‍රම දන්නා බවත්, එබැවින්, උපක්‍රම වෙනස් කර අලුතින් පටන් ගන්නා ලෙසයි.

පෞද්ගලික අරමුණුවලින් තොරව නිවැරැදි අරමුණක් වෙනුවෙන් සාමුහිකව ක්‍රියා කරමින්, ජයග්‍රහණය ලබා තිබෙනවා. ඒ පොදු අරමුණු වෙනුවෙන් ජීවිතයත් පූජා කළ නිසයි ජයග්‍රහණය කරන්න හැකි වූයේ. පරිත්‍යාගශීලීත්වයේ ගුණය අප හැමෝට ම ආඩම්බරයක්. ජයග්‍රහණය කරා ගෙනෙන්න කැපවීම අවශ්‍ය වුණා වාගේ ම නව සමාජයක් ගොඩනැගීමේ කැප වීමත් ඊට වඩා සිය දහස් ගුණයකින් අපේ මවුබිම ඉල්ලා සිටිනවා. අප හැම දෙනා ම ඒ කැපවීම කරන්න සූදානම් බව මේ මහා ඉල් මහ සමරුවේ දී ශපථ කරනවා.

මේ ව්‍යාපාරය කැප කිරීම් සහ පරිත්‍යාග තුළ ගොඩනැඟුණු ව්‍යාපාරයක්. ඒ ගුණය හෙටත් ඕනැ. අප පරිත්‍යාගශීලීව වැඩ කර මේ රටේ ජනතාවගේ හීනය සැබෑ කරන්න ක්‍රියා කරනවා. අසීරු ම පැයේ දීත් අප විශ්වාස කළේ සත්‍යය ජය ගන්නා බවයි. රෝහණ සහෝදරයා අපට ඉගැන්වූයේ දූෂිත පාලන ක්‍රමය පෙරළා දමා ජනතා බලයක් පිහිටුවන තුරු ධෛර්යයෙන් වැඩ කරන්න කියලයි. අප තව දුරටත් ජනතාව දිනා ගන්න ඕනැ. ඒ වෙනුවෙන් ඉවසීමෙන් දේශපාලනය කරන්න ඕනෑ.

 

 

“නාමල් කොරියාවේ ගියා වාගේ”

ජනතාව නැතිව අපට දේශපාලනය කරන්න බැහැ. විරුද්ධ පක්‍ෂවල කෑගහන අය පරදවන්න නම්, ජනතාව අපේ පැත්තට දිනා ගන්න ඕනෑ. අප ජනතාව දිනා ගන්න කොට ඒ ගොල්ලෝ අවලාද නඟමින්, කුමන්ත්‍රණ කරමින් හිටපුවාවේ. ඒ ගොල්ලන්ට කවුරුත් නැති වෙන කොට ඒ පක්‍ෂ වඳ වෙලා යනවා. අප සියයට තුනට වැටිච්ච වෙලාවෙත් විශ්වාස කළේ මේ ජනතාව ම අප බලයට ගෙනෙන බවයි. ගෝඨාභය රාජපක්‍ෂට හැටඅට ලක්‍ෂයක් ඡන්දය දුන් ජනතාව ඒ පාලනය එපා වී අපට ඡන්දය දෙන බව විශ්වාසයෙන් අප වැඩ කළා. ඒ වාගේ ම අලුත් අයට භය නැතිව වගකීම් පැවරුවා. රෝහණ සහෝදරයලා ඝාතනය කළා ම ඉතිරි වූ අප කිසිවකුත් රටේ ජනතාව දැනගෙන හිටියේ නැහැ. අලුත් අයට, දක්‍ෂයන්ට තැන දීමේ සංස්කෘතිය අපේ පක්‍ෂය හැම විට ම ක්‍රියාත්මක කළා. ඒ නිසයි මේ ජයග්‍රහණය දක්වා ආවේ.

බහු පක්‍ෂ ක්‍රමය අහෝසි කරන බවට ඔවුන් කෑගැසුවත්, ඒක කරන්න යන්නේ ඒ ගොල්ලෝ. කලින් තිබුණු පක්‍ෂ ගොඩක් එකතු කරලා, බහු පක්‍ෂ ක්‍රමය අහෝසි කරන්න යන ඒ ගොල්ලොත් එක්ක අපට සටනක් නැහැ. පාර්ලිමේන්තුවේ ටිකක් කෑගහනවා, පරණ, දන්න අය නිසා මාධ්‍යවල මයික් ඔවුන්ට අල්ලනවා. ඒ හැරෙන්න මහ පොළොවේ කිසි දෙයක් කරන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා තෙක් ඒ ගොල්ලෝ වාගේ අයට නීතිය ක්‍රියාත්මක වෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ. ඒ වෙලාවේ කොළඹ වටලන බවට ලොකු සද්දයක් දැම්මා. පන්සීයක් විතර ගෙනැවිල්ලා කොළඹ වටලන බව කීවා.

ජනාධිපති වෙන්න බලාගෙන ඉන්න මහින්ද රාජපක්‍ෂගේ පුතා ළඟ දී කොරියාවේ ගියා ම අලුත් කතාවකුත් හැදුණා. “නාමල් කොරියාවේ ගියා වාගේ” කියලා. එයාව පිළිගන්න කෙනෙක් කලින් සතියේ යවලයි, කොරියාවේ ගියේ. ජාතික ජන බලවේගය හදලා ලෝකයේ රටවලට ගිහින් ලාංකිකයන් එකතු කර මහා බලයක් හදපු එක කොපි කරන්න ඒ ගොල්ලොත් උත්සාහ කළා. ඒවා ගනන් නොගෙන මේ සමාජය වෙනස් කරන අභියෝගය වෙනුවෙන් අප ක්‍රියා කරන්න ඕනෑ.

‘ශ්‍රී ලාංකික ජාතික දිනයක්’

බංකොළොත් කළ රට ඉන් මුදාගෙන ආර්ථිකය ගොඩනගා සාධාරණත්වය, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේ අභියෝගය අපට තිබෙනවා. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සහ සාධාරණත්වය ලබා දිය හැකි ආකාරයට ආර්ථිකය ගොඩ ගන්න පෞද්ගලික අංශය මෙන් ම ජනතාවත් එකතු වී සාමුහිකව ක්‍රියා කරන්න ඕනෑ. ඒ වාගේ ම සමාජ සාධාරණත්වය වෙනුවෙන් ජාතික සමගිය ගොඩනගන්න ඕනෑ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ ජාතිවාදයට නැවත හිස ඔසවන්න කිසි ම ඉඩක් දෙන්නේ නැහැ. හැමෝට ම සම්බන්ධ වෙන්න පුළුවන් විවිධ ආගමික සහ සංස්කෘතික උත්සව එක්තැන් කළ ‘ශ්‍රී ලාංකික ජාතික දිනයක්’ දෙසැම්බර් මාසයේ පවත්වනවා. ඒ වෙනුවෙන් සල්ලි වියදම් කරනවාටත් විරුද්ධව කැගහනවා. විපක්‍ෂයේ ඒ ගොල්ලෝ ඔය වාගේ වැරැදි වැඩිපුර කරන එක හොඳයි.

පවතින අධ්‍යාපනය වෙනස් කර ගොඩනගන අතර, සෞඛ්‍ය සේවය, ජනතාව සිතන මතන ආකාරය වෙනස් කර ලස්සන රටක් හදන්න ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ග්‍රාමීය දුප්පත්කම තුරන් කර රට දියුණුව කරා ගෙන යන්න ඕනැ. තමන්ගේ දරුවන් වෙනුවෙන් අම්මා, තාත්තාට භය නොවී ජීවත් විය හැකි මත්ද්‍රව්‍යවලින් තොර රටක් හදන්න ඕනෑ, ඒ වෙනුවෙන් වැඩ කරන කොට කුමන බාධා ආවත්, අත්නොහැර වැඩ කරනවා. ලෝකයේ රටවල් ගොඩනගා තිබෙන්නේ පරම්පරා කිහිපයක් අත්නොහැර, මහන්සි නොබලා වැඩ කිරිමෙන්. චීනය ලෝකයේ ආර්ථික, තාක්‍ෂණික බලවතකු වී සිටින්නේ පරම්පරා කිහිපයක් අත්නොහැර, මහන්සි නොබලා වැඩ කිරීමෙන් අභියෝග අභිබවා යාම නිසයි.

පෞද්ගලික අංශයේ, රාජ්‍ය අංශයේ වැඩ කරන ජනතාව වාගේ ම සියලු පුරවැසියන්ට අප ආරාධනා කරන්නේ මේ රට ගොඩනගන්න එක් වෙන්න කියලයි. ඒ ගෞරවය හැමෝ ම ගන්න, එන්.පී.පී. එකට එපා. අපේ රටේ පැරැණි, ජරාජීර්ණ ඉතිහාසය වෙනස් කර අලුතින් ලියූ පරම්පරාව ලෙස ගෞරවයෙන් කියන්න පුළුවන් පුරවැසියන් හැටියට වැඩ කරමු. බාධා කරන්න එපා. ඒ වෙනුවෙන් වැඩ කිරීමේ දී හමු වන දුෂ්කරතා අප හඳුනා ගන්න ඕනෑ. අප මේ සමරුව පවත්වන්නේ මලක් තියලා යන්න නොවෙයි. ඉතිහාසයෙන් ඉගෙන ගන්න. හැබැයි, අතීතයේ ජීවත් වෙන්න ඕනෑ නැහැ. සමහරු අතීතයෙන් ඉගෙන නොගෙන ජීවත් වන්නේ අතීතයේ.

අතරමැද සමාදානයකින් තොරව ජයග්‍රහණය කරා වැඩ කරනවා

අපි අතීතයේ ජීවත් වෙන්නෙ නැහැ. අතීතයෙන් ඉගෙනගෙන වර්තමානයේ ජීවත් වෙලා, අනාගතය ගොඩනගනවා. අවසන් නොකළ පොතක් වාගේ අත්දැකීම් තොගයක් දිවි පිදූ පරපුරක සාරයෙන් ලබා ගන්න තිබෙනවා. ඒ හොඳ ම සාරයන් අපේ හදවත් තුළ පුරවාගෙන නව ජවයකින්, අලුත් දැනුමකින් හෙට සිට නව සමාජය නිර්මාණය කිරීමේ සටනට එක් වන්න ඕනැ. පෞද්ගලික අරමුණු කිසිවක් නැත. පොදු අරමුණු හඹාගෙන යන්න සූදානම් කියන සහතිකයත්, ජයග්‍රහණ නොදැක අපෙන් සමු ගත් ඉල් මහ සටන් සගයන්ට ලබා දෙන්න ඕනෑ. අපට මඟ පෙන් වූ, සටන් කරන හැටි කියා දුන් දිවි පිදූ සගයන්ට ලබා දිය හැකි ලොකු ම ගෞරවය අතරමැද සමාදානයකින් තොරව ජයග්‍රහණය කරා වැඩ කිරීමයි. අභියෝග නොසලකා ශක්තියෙන්, ධෛර්යයෙන් වැඩ කර ඉදිරියට යමින් අපේ සගයන්ගේ සිහින නුදුරේ දී ම සැබෑ කරන බව ශපථ කරන්න ඕනෑ. ඉතාමත් අඳුරු පැයේ දී අපේ සගයන් බිත්තියක ලියූ කවියකින් මම සමුගන්නවා.

“විරුවන් ගතින් වැගිරුණු ලේ පැහැය උරා
රතු මල් පිපේවා මිහිකත දෙරණ පුරා
ලෙළ දෙන රතු ධජය දැඩි කොට සුරත දරා
පියවර නගමු නිවහල් නව ලොවක් කරා”

මේ කීර්තිමත් විශ්වාසයේ ධජය සුරත දරාගෙන අලුත් ලොවක් වෙනුවෙන් සටන් කරමු; මහන්සි වෙමු; අපේ මිය ගිය සගයන්ගේ හොඳ ම සාරයන් හදවතේ දරාගෙන සතුරන්ට අවස්ථාව නොදී සතුරන් පරදා මවුබිමේ ජයග්‍රහණය වෙනුවෙන් හැම දෙනා ම ශක්තිය, ධෛර්යය ගෙන සටන් කරමු. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ම ජනතාවට ජයවේවා ! මවුබිමට ජයවේවා !!”

(සටහන – ජයසිරි අලවත්ත)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!