පළාත් පාලන ඡන්ද විමසීමේ ඡන්ද ප්‍රතිඵල මේවන නිකුත් වෙමින් පවතී.
ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමේදී පෙනී යන කාරණයක් වන්නේ, ඇතැම් පළාත් පාලන ආයතනවල තනි පක්ෂයක් ලබා ඇති ආසන ගණනට වඩා වැඩි ආසන සංඛ්‍යාවක් සෙසු පක්ෂ එකතුව ලබා ගෙන ඇති බවයි.
ඒ අනුව, යම් පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් පළාත් පාලන ආයතනයක බහුතර බලය ලබා ගත්ත ද, විපක්ෂයේ පිරිස් ඊට වඩා බලයක් ලබා ගතහොත් සිදුවන්නේ කුමක් දැයි සමාජ මාධ්‍ය ජාලාවල කතා බහක් ඇතිව තිබේ.
එලෙස, පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ගැටලුකාරි තත්ත්වයක් ඇති වුවහොත් සිදුවන්නේ කුමක් දැයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් බීබීසී සිංහල විමසා බැලීය.
සභික සංඛ්‍යාව 50%ට අඩු වුණොත් සිදුවන්නේ කුමක් ද?
පළාත් පාලන ආයතනවල තනි පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක තේරී පත්වන සභික සංඛ්‍යාව 50%ක් හෝ ඊට වැඩි වුවහොත් අදාළ පක්ෂයට හෝ කණ්ඩායමට සභාපති සහ උප සභාපති නම් කර එවන ලෙස මැතිවරණ කොමිසම දන්වනු ලබයි.
එහෙත් එසේ බලයක් ලබා නොගතහොත් ඊට මැතිවරණ කොමිසම මැදිහත් නොවී සභාපති හෝ නගරාධිපති පත් කර ගැනීම අදාළ පළාත් පාලන ආයතනයේ සභිකයන්ගේ එකඟතාව මත සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල් රත්නායක බීබීසි සිංහල වෙත කියා සිටියේය.
“සියයට පනහා තියෙනවා නම් අපි ඒ පක්ෂයට දැනුම් දෙනවා සභාපති, උප සභාපති පත් කරන්න කියලා. එහෙම නැතිනම් ඒ සභාව පිහිටෙවුවට පස්සේ ඒකේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ කැමැත්තෙන් තමයි සභාපති, උප සභාපති තෝරන්නේ.”
එසේ එකඟත්වයකට පැමිණීමට නොහැකි වුවහොත් පළාත් පාලන කොමසාරිස් විසින් අදාළ ඉදිරි කටයුතු සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කියා සිටියේය.
‘පොදු එකඟතාවය මත සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා තෝරගන්නේ’
පළාත් පාලන ආයතනවල යම් පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් තේරී පත් වන සභික සංඛ්‍යාවෙන් 50%ක හෝ ඊට වැඩි බලයක් ලබා නොගැනීම විශාල ගැටලුවක් නොවන බවත් එය තීරණාත්මක වන්නේ සභාපති හෝ නගරාධිපතිවරයා තෝරා ගැනීමේදී පමණක් බව Accountability Lab In Asia ආයතනයේ කාන්තා දේශපාලන අයිතීන් පිළිබඳ අධ්‍යක්ෂිකා ශ්‍රීයානි රුවනාරා විජේසුන්දර බීබීසී සිංහල වෙත පැවසුවාය.
“එතකොට වෙන්නේ පළාත් පාලන කොමසාරිස් සහ අදාළ දිස්ත්‍රික්කයේ සහකාර පළාත් පාලන කොමසාරිස්වරයා මූලිකත්වයෙන් පළවෙනි රැස්වීම පවත්වලා, ඡන්දයක් තියලා, ඒ ඡන්දයෙන් තමයි පොදු එකඟතාවය මත සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා තෝරගන්නේ.”
එලෙස පත්වන සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා මූලිකත්වය ගෙන පවත්වන සභාවේ දී පොදු එකඟත්වය මත අදාළ පළාත් පාලන ආයතනයේ උප සභාපතිවරයා තෝරා පත් කරගන්නා බව ඇය කියා සිටියාය.
සියයට පනහක සභික සංඛ්‍යාවකගේ බලයක් නොලැබීම පාලනය ගෙන යාමට ගැටලුවක් නොවන බවත් මහ නගර සහ නගර සභා ආඥ පනත සහ ප්‍රදේශීය සභා පනත අනුව ඉදිරි කටයුතු කළ හැකි බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
පක්ෂ හෝ කණ්ඩායම් කිහිපයක් එක් වී පළාත් පාලන ආයතනයක බලය පිහිටුවන්න පුළුවන් ද?
පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් කිහිපයක් එක්ව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ හැකියාවක් නොමැති බව Accountability Lab In Asia ආයතනයේ විධායක අධ්‍යක්ෂ, හිටපු නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස් ධර්මසිරි නනායක්කාර බීබීසී සිංහල වෙත ප්‍රකාශ කළේය.
“ඡන්ද විමසිම් ආඥා පනතේ පැහැදිලිව ම තියෙන්නේ යම් තනි පක්ෂයක් සභික සංඛ්‍යාවෙන් 50% ක් ගත්තොත් ඒ පක්ෂයේ මහ ලේකම්ට අයිතිය තියෙනවා සභාපති, උප සභාපති තෝරන්න.”
කෙසේ වෙතත් බහුතරය ලබා ගත් පක්ෂය හැර වෙනත් පක්ෂයකින් සභාපතිවරයා තේරී පත් විය හැකි බවත් එසේ 50%ක් හෝ ඊට වැඩි මන්ත්‍රී ධූර සංඛ්‍යාවක බලයක් නොමැති විට සභාපතිවරයා ඡන්දයෙන් පත් වන අයුරුත් හිටපු නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස්වරයා පැහැදිලි කළේය.
“බහුතරය ඉන්න පක්ෂය හැර විපක්ෂයෙන් සභාපතිවරයා පත් වෙන්න පුළුවන්, සභාපතිවරයා තෝරා පත් කර ගැනීමට මන්ත්‍රීවරු 50%ක් ඡන්දය දිය යුතුමයි. එකෙන් 50%ට වඩා ගන්න කෙනා සභාපති ලෙස තේරෙනවා.” යැයි ඔහු පැවසීය.
පළාත් පාලන කොමසාරිස්වරයාගේ මූලිකත්වයෙන් පළමු සභා වාරය කැඳවා ඡන්දයකින් සභාපතිවරයා තෝරා පත් කර ගන්නා බව ද හිටපු නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස්වරයා පැවසීය.
“විවෘත ඡන්දයක් තියන්නේ. එතන යෝජනාවක් ආවොත් රහස් ඡන්දයක් තියන්න කියලා ඒ රහස් ඡන්දය තියන්න ඕනෙද කියලා ඡන්දය විමසනවා. බහුතරයක් කිව්වොත් රහස් ඡන්දය තියන්න කියලා රහස් ඡන්දය තියන්න ඕනෑ.” යැයි මන්ත්‍රීවරුන් අතර ඡන්දයක් පවත්වා සභාපතිවරයා තෝරාගන්න ආකාරය ඔහු පැහැදිලි කළේය.
| BBC සිංහල සේවය