අවසන් වරට විදුලි ගාස්තු සංශෝධනයේදී ඉදිරිපත් කළ යෝජනාව ඉවත දමමින් මේ වසරේ ජනවාරි මාසයේ සිට විදුලි ගාස්තුව පහළ දැමීම හේතුවෙන් ආලභ ලබන බව පෙන්වා දෙමින් විදුලි ගාස්තු ඉහළ දැමීමට විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසම වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
විදුලි ගාස්තුව පහත හෙළීමෙන් 2025 ජනවාරි සිට මාර්තු දක්වා වූ මුල් කාර්තුවේ රුපියල් බිලියන 18ක පාඩුවක් ලැබූ බව විදුලි බල මණ්ඩලය පෙන්වා දෙයි.
2025 මුල් මාස 6 සඳහා එතෙක් පැවති ගාස්තු එලෙස ම පවත්වාගෙන යාම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබුණු අතර එම යෝජනාවට ප්‍රතියෝජනාවක් ඉදිරිපත් කළ මහජන උපයෝගීතා කොමිසම විදුලි ගාස්තුව 20%කින් පහත දැමීමට තීරණය කළේ ය.
එම තත්ත්වය තුළ ජූනි සිට දෙසැම්බර් දක්වා කාල සිමාවේදී විදුලි බල මණ්ඩලයේ මුල්‍ය හිඟය රුපියල් මිලියන 42,196ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බැවින් මෙවර ගාස්තු සංශෝධනයේදී 18.3%ක ගාස්තු වැඩි වීමක් අවශ්‍ය බව ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කරයි.
විදුලි බිල ගැන IMF කිව්වේ මොනවා ද?
විදුලි ගාස්තු අඩු කිරිමෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහනේ ව්‍යුහාත්මක මිනුම් ලකුණක් උල්ලංඝණය කර ඇති බවත් ඊළඟ සමාලෝචනය සමත් වීමට විදුලි බල මණ්ඩලය ලබන පාඩු වළක්වා ගැනීම ප්‍රධාන අවශ්‍යතාවක් වනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ද ප්‍රකාශ කර තිබිණි.
මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපනය කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිව් වන සමාලෝචනය පිළිබඳව පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී කියා සිටියේ ය.
පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපනය කිරීම සහ ස්වයංක්‍රීය විදුලි මිල ගැලපුම් යාන්ත්‍රණයේ නිසි ක්‍රියාකාරිත්වය සහතික කිරීම සම්බන්ධ පූර්ව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම, බහුපාර්ශ්වික හවුල්කරුවන්ගේ කැප වූ මූල්‍ය දායකත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රමාණවත් ප්‍රගතිය තහවුරු කිරීම කෙරෙහි අවධානය යොමු කරන මූල්‍යන සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීම යන කරුණු සපුරාලීම මත කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වනු ඇති බව ද IMF නිවේදනය කළේ ය.
වැඩි කිරීමට යෝජිත ගාස්තු
මෙවර ගාස්තු සංශෝධනයේදී ගෘහස්ථ, ආගමික හා පුණ්‍යායතන, කර්මාන්ත සහ හෝටල් හා රාජ්‍ය ආයතන යනාදී සියලු ම අංශ සඳහා ගාස්තු ඉහළ නැංවීමට විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇත.
ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 0 සිට 30 දක්වා රුපියල් 4ක් වූ ඒකකයක මිල රුපියල් 4.75ක් දක්වා සහ රුපියල් 75ක් වූ ස්ථාවර ගාස්තුව රුපියල් 90ක් දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.
එම කාණ්ඩයේ ඒකක 61 සිට 90 දක්වා රුපියල් 14ක් වන ඒකකයක මිල රුපියල් 16.60 ක් දක්වා සහ එම ඒකකයේ ස්ථාවර ගාස්තුව රුපියල් 400ක් වු ස්ථාවර ගාස්තුව 475ක් දක්වා ඉහළ දමන ලෙස ඉල්ලා සිටී.
රුපියල් 20ක් වන ඒකක 91 සිට 120 දක්වා වූ ගාස්තුව රුපියල් 23.65ක් දක්වා සහ රුපියල් 1000ක් වන එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 1,185ක් දක්වා ඉහළ නැංවීමට යෝජිත ය.
ඒකක 121ත් 180ත් අතර කාණ්ඩයේ රුපියල් 33ක් වන ඒකකයක මිල රුපියල් 39.5ක් දක්වා ඉහළ දැමීමට ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇති අතර, රුපියල් 1,500ක් වන එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 1,775ක් දක්වා ඉහළ දැමීමට යෝජිත අතර ඒකක 181ට වැඩි ගෘහස්ථ කාණ්ඩයේ රුපියල් 52ක් වන විදුලි ඒකකයක මිල රුපියල් 61.55 ක් දක්වා සහ රුපියල් 2,000ක් වන එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 2,370ක් දක්වා වැඩි කිරීමට ඉල්ලීම් කර ඇත.
යෝජිත ගාස්තු සංශෝධනය යටතේ ආගමික හා පුණ්‍යායතන සඳහා ඒකක 0 සිට 30 දක්වා රුපියල් 4.50ක් වූ ඒකකයක මිල රුපියල් 5.35ක් දක්වා සහ රුපියල් 75ක් වූ ස්ථාවර ගාස්තුව රුපියල් 90ක් දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.
ඒකක 31 සිට 90 දක්වා රුපියල් 4.50 වූ ඒකකයක මිල රුපියල් 5.35ක් දක්වා සහ රුපියල් 200ක් වූ ස්ථාවර ගාස්තුව රුපියල් 235ක් දක්වා ඉහළ නැංවීමට යෝජිත ය.
රුපියල් 6.50ක්ව පවතින ඒකක 91ත් 120ත් අතර වූ ඒකකයක මිල රුපියල් 7.70ක් දක්වා ඉහළ දැමීමට යෝජනා කරන විදුලි බල මණ්ඩලය එහි ස්ථාවර ගාස්තුව රුපියල් 300 සිට 355ක් දක්වා ඉහළ දැමීමට ඉල්ලා ඇත.
ඒකක 120ත් 180ත් අතර රුපියල් 15ක් ලෙස පවතින ගාස්තුව රුපියල් 17.75ක් දක්වා මෙන් ම එම ඒකකය යටතේ ස්ථාවර ගාස්තුව රුපියල් 1,200 සිට 1,420ක් දක්වා ඉහළ දැමීමට යෝජනා කර තිබේ.
එම යෝජනාවලියට අනුව ඒකකට 181ට වැඩි ඒකකය රුපියල් 23ක් ලෙස පවතින ගාස්තුව රුපියල් 27.25ක් දක්වා ඉහළ දමන ලෙසත්, එහි ස්ථාවර ගාස්තුව රුපියල් 1,600 සිට 1,895ක් දක්වා වැඩි විය යුතු බවත් විදුලි බල මණ්ඩලය යෝජනා කරයි.
යෝජිත ගාස්තු සංශෝධනයේදී හෝටල් සහ කර්මාන්ත ශාලා සඳහා වූ විදුලි ගාස්තු ද ඉහළ දැමීමට ඉල්ලීම් කර ඇති අතර ඒ අනුව ඒකක 300 හෝ 300ට අඩු ඒකකයක් සඳහා පවතින රුපියල් 7ක මිල රුපියල් 8.28ක් දක්වා ඉහළ දමන ලෙස අනුමැතිය ඉල්ලා තිබේ.
ඒකකය රුපියල් 300ට වැඩි ඒකකයක් සඳහා දැනට අය කරනු ලබන රුපියල් 13ක ගාස්තුව රුපියල් 15.38ක් දක්වා වැඩි කිරීමට යෝජිත ය.
‘යෝජිත ගාස්තු මේ වසරේ මුල පැවති ගාස්තුව වඩා අඩු යි’
“යෝජිත සංශෝධනයට අනුව නව විදුලි ගාස්තුව මෙම වසර මුලදී පැවති විදුලි ගාස්තුවට වඩා දළ වශයෙන් 5.4%ක් අඩු බව අපි අවධාරණය කිරීමට කැමැත්තෙමු. මෙයට හේතුව වන්නේ 2025 වසරේ මුල භාගයේදී ලංවිම විසින් විදුලි පාරිභෝගිකයන්ට සහනයක් වශයෙන් 20%ක විදුලි ගාස්තු පහත හෙළීමක් සිදු කිරීම ය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, විදුලි ඒකකයක සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 24ක් දක්වා පහත වැටිණි. නව ගාස්තු සංශෝධන යෝජනාව, මෙම පහත හෙළන ලද විදුලි ගාස්තු යටතේ 2025 වසරේ මුල් භාගයේදී ලංවිම ලැබූ අලාභය අඩ වශයෙන් පමණක් නිවැරදි කිරීමකි. එබැවින් නව යෝජිත ගාස්තුව 2025 වසරේ ජනවාරි මස තිබූ විදුලි ගාස්තුවට වඩා අඩු එකක් වනු ඇත” විදුලි බල මණ්ඩලය නිවේදනය කරයි.
විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇති ගාස්තු සංශෝධනයට, මහජන උපයෝගීතා කොමිසම සිය අනුමැතිය ලබා නොදුනහොත් හෝ ඊට අඩු ගාස්තු සංශෝධනයකට අවසර ලබා දුනහොත් ගැටලුවක් ඇති විය හැකි බව විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඉංජිනේරු ධම්මික විමලරත්න බීබීසි සිංහල සේවය වෙත කියා සිටියේ ය.
“ඔය 18.3% හදලා තියෙන්නේ අපේ කොස්ට් එක රිකවර් කරන්න අවශ්‍ය අවම ප්‍රමාණය නේ. අඩුවෙන් අනුමත කළොත් වෙන්නේ කොස්ට් එක රිකවර් වෙන්නේ නැහැ. ගිය පාර 20%කින් අඩු කරපු එකේ ප්‍රතිඵලත් මෙදා පාර ඇවිල්ලා තියෙනවා. ඒකෙන් රිකවර් වෙච්ච නැති මුදල මෙදා පාරත් දාන්න වෙලා තියෙනවා.”
හදිසි බිඳ වැටීමක්, වැසි තත්ත්වයේ අඩු වීමක් හෝ වැනි හදිස්සි ආපදාවක් සිදුනොවුණහොත් දැනට අනාවැකි පළ කර ඇති පරිදි ඉදිරි මාස 6ක කාලය තුළ මණ්ඩලය පාඩු නොලැබීමට 18.3%ක ගාස්තු වැඩි වීම ප්‍රමාණවත් බව විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
‘පාඩු පියවා ගන්න රුපියල් බිලියන 51ක් දුන්නා’
විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික පවසන්නේ, විදුලි ගාස්තු ඉහළ දැමීමේ ඉඩක් මේ අවස්ථාවේ නොමැති බව ය.
“මේ අවුරුද්දේ මිල සංශෝධනය තුළ පාඩු පියවා ගන්න රුපියල් බිලියන 51ක් දුන්නා විදුලි බල මණ්ඩලයට. නමුත් මේගොල්ලො ම පෙන්නලා තියෙන දත්ත අනුව පාඩුව බිලියන 18යි. එතකොට එතනම ඉතිරි වෙලා තියෙනවා බිලියන 33ක්. එතකොට තව කොහෙ ද දෙන්නේ.”
2023 ජනවාරි සිට 2025 ජනවාරි දක්වා කාලය තුළ විදුලි බල මණ්ඩලය උපයා ගත් ශුද්ධ ලාභය රුපියල් බිලියන 217ක් බව ද ඔහු කියා සිටියේ ය.
“අපි හිතමු 9 වෙනි දා වෙච්ච බිලැක් අවුට් එක, අනිත් එක තමයි ගල් අඟුරු බලගාරයක් කැඩුණා ඒකෙන් පාඩු වෙලා තියෙනවා රුපියල් බිලියන 5,6ක්. ඒ පාඩුවත් මේවට දාලා තියෙනවා. අපි කොමිසමට කියන්නේ ඒ පාඩුව මේකට දාන්න බැහැ. ඒක අපේ දත්ත සමීකරණය අනුව පාරිභෝගිකයන්ගෙන් අය කරන්න බැහැ,” යැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික පැවසීය.
විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවට මොක ද වෙන්නේ?
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධව විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කර ඇති යෝජනාව අධ්‍යනය කරමින් පවතින බව එම කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් බීබීසි සිංහල සේවය වෙත කියා සිටියේ ය.
එමෙන් ම එම යෝජනාව සම්බන්ධ ඉදිරි ක්‍රියාවලිය ද ඔහු විස්තර කළේ ය.
“අපේ අධ්‍යනයෙන් පස්සේ අපි උපදේශන පත්‍රිකාවක් නිකුත් කරනවා අඟහරුවාදා වෙද්දි. ඉන් පස්සේ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ පනතේ 17 වැනි වගන්තිය සහ විදුලි බල පනතේ 30 වැනි වගන්තිය යටතේ මහජන උපදේශනයක් පවත්වන්නට ඕනේ. ඒ අනුව මහජන උපදේශන ක්‍රියාවලියට තමා උපදේශන පත්‍රිකාව නිකුත් කරන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කරලා තියෙන යෝජනාව අධ්‍යයනය කරලා. ඒ සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ මූලික නිර්දේශය මොකක් ද කියන එක තමයි මේකේ අන්තර්ගත වෙන්නේ.”
ඒ සම්බන්ධව මහ ජනතාවට ලිඛිතව අදහස් දැක්වීමට ජූනි 02 වන දා දක්වා කාලය ලැබෙන අතර ඒ අතර ම වාචික අදහස් දැක්වීමට මේ මස 23 වන දා සිට ජූනි 03 දක්වා පළාත් නියෝජනය වන ආකාරයට වාචික අදහස් දැක්විමේ සැසි 09ක් පවත්වන බව ද සන්නිවේදන අධ්‍යක්ෂවරයා පැවසීය.
එම අදහස්වලින් ලැබෙන සාධනීය කරුණු ද සැලකිල්ලට ගනිමින් මහජන උපයෝගීතා කොමිසමේ අවසන් තීරණය ජූනි මස දෙවන සතියේදී ප්‍රකාශයට පත් කළ හැකි වනු ඇතැයි එම කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් වැඩිදුරටත් සඳහන් කළේ ය.
විදුලි බිල ගැන බලයට පත්වීමට පෙර ආණ්ඩුව දුන් පොරොන්දුව
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයට තරග කළ සමයේදී එම මැතිවරණ වේදිකාවල ලබා දුන් ප්‍රධාන පොරොන්දුවක් වූයේ ඔවුන් බලයට පැමිණි වහාම විදුලි බිල 30%කින් පමණ අඩු කිරීම ය.
කෙසේ වෙතත්, “දවසෙන් දෙකෙන් විදුලි බිල අඩු කරනවා කියල අපි කොහෙවත් කියලා නෑ. අවුරුදු තුනක් ඇතුළත තමයි අපි මේක කරන්න සැලසුම් කරලා තියෙන්නේ,” යැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ජනවාරි 09 වන දා පාර්ලිමේන්තුවේදී පැවසීය.
| BBC සිංහල සේවය