නේපාලයේ පැවැති මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵල මෙතෙක් නිකුත් කර නොමැති වුවද, මෙතෙක් ලැබී ඇති ප්‍රතිඵල අනුව පෙරමුණ ගෙන සිටින්නේ රැප් ගායකයකු ලෙස ජනප්‍රියත්වයට පත් වී පසුව දේශපාලනයට පිවිසි බාලේන්ද්‍ර ෂා බව නේපාල මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, ඔහු නේපාලයේ මීළඟ අගමැතිවරයා බවට පත්වීමට ඉඩ ඇති බවටද වාර්තා පළවෙයි.
පසුගිය වසරේ උද්ගත වූ තරුණ අරගලයෙන් පසු පැවැති මෙම මැතිවරණය පසුගිය බ්‍රහස්පතින්දා දින පැවැත්වුණි. ජනවාරි මාසය දක්වා කත්මණ්ඩු නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ බාලේන්ද්‍ර ෂාට එරෙහිව හිටපු අගමැති කේ.පී. ඕලි නායකත්වය දරන කොමියුනිස්ට් පක්ෂය සහ නේපාල කොන්ග්‍රසයේ ප්‍රබල අපේක්ෂකයෙකු වන ගගන් තාපා ඇතුළු පිරිසක් තරග වැදුණි.
බීබීසී නේපාල සේවය වාර්තා කරන්නේ සිකුරාදා සවස් වනවිට නිකුත් කළ ප්‍රතිඵල අනුව, ෂාගේ මධ්‍යස්ථ මතධාරී රස්ත්‍රිය ස්වතන්ත්‍ර පක්ෂය (RSP) සෘජුව තේරී පත්වන ආසන 165 අතරින් තුනෙන් දෙකකට වඩා වැඩි සංඛ්‍යාවක පෙරමුණ ගෙන සිටින බවයි. එමෙන්ම නේපාල කොන්ග්‍රසය දෙවන ස්ථානයටත්, කේ.පී. ඕලිගේ කොමියුනිස්ට් පක්ෂය තෙවන ස්ථානයටත් පත්ව ඇති බවද වාර්තා වේ.
කඳුකර ප්‍රදේශවල පිහිටි නේපාලයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු සාම්ප්‍රදායිකව මන්දගාමී වන අතර, දුරස්ථ ප්‍රදේශවලින් ඡන්ද පෙට්ටි රැගෙන ඒමට හෙලිකොප්ටර් යානා පවා භාවිත කිරීමට සිදුවන බව සඳහන් වේ.
එබැවින් අවසන් ප්‍රතිඵලය දැනගැනීමට තවත් දින කිහිපයක් ගතවිය හැකි බව වාර්තා වෙයි. 2022 වසරේ පැවැති මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත් කිරීමටද සති දෙකකට වඩා වැඩි කාලයක් ගතවූ බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.







