BREAKING NEWS
Search

ඇමෙරිකාව පෙන්නා බෝනස් නෑ කියූ ඇඟලුම් ප්‍රධානියාව සේවකයෝ නිවාස අඩස්සියට අරන්

124

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු හේතුවෙන් අවුරුදු බෝනස් දීමනාව ලබාදීමට නොහැකි බව පැවසීම හේතුවෙන් ඇඟලුම් කර්මාන්ත ශාලාවක ආයතන ප්‍රධානියාව නිවාස අඩස්සියේ තබා විරෝධයක නියැලීමත් සමග අදාළ ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇත.

මාතර, වැලිගම, උඩුකාව ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක ඊයේ (08) රාත්‍රියේ මෙම තත්ත්වය හට ගෙන ඇති අතර, විරෝධතාකරුවන් ආයතන පිවිසුම් දොරටුව අඟුලු දමා එය සම්පූර්ණයෙන්ම අවහිර කරමින් විරෝධයේ නියැලී තිබේ.

ආයතන පාලන අධිකාරිය විසින් ඊයේ උදෑසන බෝනස් ලබානොදීමට තීරණය කර ඇති බව දැනුම්දී ඇති අතර, එහිදී ද ආයතන ප්‍රධානීන් සහ සේවකයින් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබුණි.

විරෝධතාවයට එක්වූ සේවකයින් පවසා ඇත්තේ, අවුරුදු බෝනස් ලබාදෙන තෙක් එම ස්ථානයෙන් ඉවත් නොවන බවය.

පසුව ඇඟලුම් කර්මාන්තශාලාවේ ප්‍රධානීන් විසින් වැලිගම පොලීසියට දැනුම්වත් කිරීම සමඟ විශේෂ පොලිස් ආරක්ෂාවක් ද අදාළ කර්මාන්තශාලාවට යොදවා තිබේ.

එහෙත් අද (09) උදෑසන වනතෙක්ම සේවකයින් ආයතන පිවිසුම් දොරටුව අවහිර කරමින් විරෝධතාවයේ නියැලුණු බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට පසුගිය දා තීරණය කළේය.

අදාළ බදු පැනවීම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් අප්‍රේල් 02 වන දින ප්‍රකාශයට පත්කර ඇති අතර එය අප්‍රේල් මස 5 වන දින සිට එම බදු පැනවීම ක්‍රියාත්මක වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *