BREAKING NEWS
Search

කොළඹට හැමූ තද සුළඟින් ගස් කඩාවැටුනු හැටි මෙන්න..! (Video)

1170

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඊයේ (29) රාත්‍රියේ හමාගිය දැඩි සුළඟක් හේතුවෙන් ගස් කඩාවැටී දැඩි අලාභහානි සිදුව තිබේ.

කොළඹ – ගාලු පාරේ කොල්ලුපිටියේ සිට වැල්ලවත්ත දක්වා මෙන්ම ග්‍රෑන්ඩ්පාස් අවට ප්‍රදේශ කිහිපයකම ගස් කඩාවැටී තිබෙන අයුරු දැකගත හැකිවිය.

ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝසප් මාවතේ විශාල ප්‍රමාණයේ ගසක් කඩාවැටීමෙන් අසල තිබූ නිවාස 6කට හානි සිදුව ඇත.

අප වාර්තාකරු සඳහන් කළේ මෙම අනතුරෙන් සිය ජීවිත බේරාගැනීමට නිවැසියන්ට හැකිවී තිබූ බවය.

කොළඹ ඇතුලු ප්‍රදේශ රැසක් හරහා ඊයේ රාත්‍රියේ පැවති වර්ෂාවත් සමග හමා ගිය දැඩි සුළගෙන් ගස් කඩා වැටීම් සහ දේපල හානි රැසක් වාර්තා වී තිබෙනවා.

ඇතැම් ප්‍රදේශවලට තවමත් විදුලිය සැපයුම ලැබී නොමැති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

ප්‍රදේශ රැසකට මි.මී.100ට වඩා තද වැසි…!

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (30) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වල මි.මී.100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

උතුරු – මැද පළාතේත් මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව සඳහන්.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60)ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි. මී. (30-40)ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *