තමාව අත්අඩංගුවට ගැනීමට හේතු වූයේ තමන්ට අයත් පුද්ගලික ආරක්ෂක සේවා ලබාදෙන ව්‍යාපාරයේ සේවකයන්ගේ සේවක අර්ථ සාධක අරමුදල්
පිලිබද ඇති වු ගැටලුවක් පිළිබඳව අධිකරණය මඟින් නිකුත් කර තිබූ සිතාසි තමන්ට නොලැබීම සම්බන්ධ ගැටලුවක් නිසා බව ප්‍රවීණ රංගන ශිල්පී සේමිණි ඉද්දමල්ගොඩ පවසයි.
පෙරේදා (10) දිනයේ සිය සැමියාගේ මෝටර් රථය අනතුරට ලක්වූ බවත් ඔහු සමඟ වැලිකඩ පොලීසියට ගිය අවස්ථාවේදී වරෙන්තු වගයක් ඇති බවට පවසා තමාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත් සේමිණි මහත්මිය පැවසුවාය.
ඒ මොහොත වන තෙක් තමා ඒ සම්බන්ධයෙන් දැන නොසිටි බව ඇප මත නිදහස්ව පැමිණි සේමිණි ඉද්දමල්ගොඩ ඊයේ (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළාය.
අදාළ නඩු සම්බන්ධයෙන් නිකුත් කර තිබූ සිතාසි තමන්ට නොලැබුණු බවත් ඒවා එම ව්‍යාපාරය පවත්වාගෙන ගිය පැරණි කාර්යාලයට ලබා දී තිබිම නිසා ඒ සම්බන්ධයෙන් තමාගේ කිසිදු දැනුවත්වීමක් නොමැති බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
මෙම සිතාසි 07 ට අදාළ නඩු සම්බන්ධයෙන් පවතින සියළු ගෙවීම් මේ වනවිටත් ගෙවා අවසන් කර ඇති බවත් ඊට අදාල සියලුම ලියකියිවලි අධිකරණයට ඉදිරිපත් කර ඇති බව ඇය ප්‍රකාශ කර සිටියාය.
සේමිණී ඇප මත මුදා හැරේ
අත්අඩංගුවට ගත් රංගන ශිල්පිණි සේමිණි ඉද්දමල්ගොඩ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (11) නියෝග කළේය.
පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළේ පෞද්ගලික ආරක්ෂක ආයතනයක් පවත්වාගෙන ගොස් ඊට අදාළව ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදල් ඇතුළු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම සැකකාරියට එරෙහිව අධිකරණය මගින් වරෙන්තු හතක් නිකුත් කර තිබෙන බවත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු හතරක්, මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු දෙකක් සහ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් එක් වරෙන්තුවක්ද නිකුත් කර තිබෙන බවයි.
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායිකාව රංගන ශිල්පිනියක් බවත් ඇයට අධිකරණය මගහැරයාමේ කිසිදු අවශ්‍යතාවයක් නොතිබූ බවත් මෙහි ඇතැම් නඩුවලට අදාළ මුදල් සිය සේවාදායිකාව විසින් දැනටමත් ගෙවා අවසන් කර ඇති බවත් එම නඩු කම්කරු දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා අස්කරගෙන තිබෙන බවත් දැනුම් දී සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ, සැකකාරිය රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියම කළ අතර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබෙන පැමිණිලි හතරට අදාලව මුදල් ගෙවීම් සිදුකළ වාර්තා ලබන 19 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් සැකකාරියට නියෝග කළේය.