ලෝකයේ හොඳම පන්දු යවන්නන්ට එරෙහිව ඉන්දියාවේ වයිභාව් සූර්යවන්ශි ප්‍රදර්ශනය කළ ඇදහිය නොහැකි පිතිහරඹයෙන් පසුව විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු බොහෝ දෙනා තමන් වයස අවුරුදු 14ක්ව සිටියදී කළ කී දේ මොනවාදැයි මතක් කරමින් සිටින අවස්ථාවක පුහුණුකරු රාහුල් ඩ්‍රාව්ඩ් සූර්යවන්ශි වටා ආරක්ෂක දැලක් නිර්මාණය කර තිබෙනවා.
ඉන්දියා ප්‍රිමිය ලීග් තරග බිමේ ඉහළින්ම සිටින ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව හයේ පහර 11ක් සහ හතරේ පහර 7ක් එල්ල කරමින් පන්දු 35කින් විස්මිත ශතකයක් වාර්තා කර ලොව ළාබාලතම T20 ශතකලාභියා බවට පත්වීමෙන් පසුව ‘රාජස්තාන් රෝයල්ස්’ කණ්ඩායමේ 14 හැවිරිදි සූර්යවන්ශි කීර්තිය හසුරුවා ගැනීමේ දැඩි පීඩනයකට මුහුණ දී සිටිනවා.
බිහාර් ප්‍රාන්ත ක්‍රිකට් සංගමයේ සභාපති රකේෂ් ටිවාරි, රාජස්තාන් රෝයල්ස් කළමනාකාරිත්වය, ඩ්‍රාවිඩ් සහ වයිභාව්ගේ පියා වන සන්ජිව් මේ නව යොවුන් ක්‍රීඩකයා වටා ආරක්ෂක දැලක් නිර්මාණය කිරීමට උත්සාහ කරමින් සිටින්‌නේ IPL ඉතිහාසයේ එදා මෙදා තුර ළාබලතම ශතකලාභියා බවට පත්වීමෙන් පසුව සූර්යවන්ශිගේ ජීවිතය වෙනස් වී ඇති බැවින්.
රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ පුහුණුකරු වන රාහුල් ඩ්‍රාවිඩ් දැන් වයිභාව් සූර්යවන්ශිව ඔහුගේ පාලනය යටතට ගෙන තිබෙන අතර ඔහු මේ පිළිබඳව බිහාර් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා වන රකේෂ් ටිවාරි සහ වයිභාව්ගේ දෙමාපියන් සමග සාකච්ඡා කර ඇති බව වාර්තා වනවා. තමන්ගේ පුතාගේ ක්‍රීඩා වර්ධනය සම්බන්ධයෙන් ඩ්‍රාව්ඩ්ගෙන් එන ඕනෑම උපදේශයකට ඇහුම්කන් දෙන ලෙසට වයිභාව්ගේ මවුපියන්ට දන්වා තිබෙනවා.
“සූර්යවන්ශි ට විශේෂ සහජ කුසලතාවක් තිබෙනවා. එයාට එයාගේ සම්පූර්ණ හැකියාව අවබෝධ කර ගැනීමට උපකාර කිරීම පිණිස හොඳ අරමුණු තියෙන පුද්ගලයන් ඔවුන්ගේ කාර්යය කළ යුතුයි” බිහාර් ක්‍රිකට් සංගමයේ නිලධාරියෙක් පවසනවා.
ඉන්දියා අවුරුදු 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයන් සමග බොහෝ දුරට කටයුතු කර තිබෙන ඉන්දියාවේ සිටින එක් වඩාත්ම ගෞරවනීය පුහුණුකරුවකු වන ඩබ්ලිව්.වී.රාමන් මේ වැදගත්කම පිළිබඳව මෙසේ අදහස් දක්වනවා.
srt345gfgg
“සූර්යවන්ශි බබෙක්. එය බය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. මෙය ආරම්භය පමණයි” රාමන් කියනවා. “සාම්ප්‍රදායික පිතිකරණය සම්බන්ධයෙන් තිබෙන සියලුම මාර්ගෝපදේශන අත්පොත් සූර්යවන්ශි විසින් කෑලි කෑලිවලට ඉරා දමා තිබෙනවා.”
නමුත් මේ දරුවා ක්‍රීඩාවෙන් දියුණු වීමට නම් ඔහුගේ පවුල, විශේෂයෙන් දෙමාපියන් ඉතාම පරෙස්සමෙන් කටයුතු කළ යුතු බවට රාමන් විශ්වාස කරනවා.
“ඔහුට වයස අවරුදු 14යි. ඔහු ගැන දෙමාපියන් ගන්නා තීරණ තිබේවි. ඒ තීරණ ඉතා වැදගත් වේවි” යනුවෙන් රාමන් සඳහන් කරනවා.
තමන්ගේ යුගයට වඩා දැවැන්ත සහාය ක්‍රමවේදයක් වර්තමානයේ තිබෙන බැවින් සූර්යවන්ශි ට කලබල වීමට හේතුවක් නැති බව නව යොවුන් වියේ සිටියදී තවත් ආශ්චර්යමත් ක්‍රීඩකයෙකුව සිටි ලක්ස්මන් සිවරාමාක්‍රිෂ්නන් පන්දු යවන්නා විශ්වාස කරනවා.
“පිතිකරුවන්ට මඟ පෙන්වන්න ලේසියි. පන්දු යවන්නෙක් මෙහෙයවන්න හොඳින් කල්පනා කරන අය අවශ්‍යයි. මමත් මානිත් (මනින්දර් සිං) අවුරුදු 16 හා 17 වියේ සිටියදී පාකිස්තානය හා බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ක්‍රීඩා කළේ කෙළින්ම පාසලෙන් පිටව ඇවිත්” සිවරාමාක්‍රිෂ්නන් ප්‍රකාශ කරනවා.
“විශිෂ්ට දඟ පන්දු යවන්නන් හතර දෙනෙකුගෙන් පසුව එදා අපි ක්‍රීඩාවට ආවා පමණයි. ඒ වන විට ක්‍රිකට් පූර්ණ කාලීන වෘත්තිමය තත්ත්වයට පැමිණ තිබුනේ නැහැ. තාක්ෂණික සහායක් හෝ දැනුමක් තිබුනේ නැහැ” ඔහු යළි මතක් කරනවා.
ඉන්දියාවේ ජාතික ක්‍රිකට් ඇකඩමියේ (NCA) සේවය කරමින් තරුණ ක්‍රීඩකයන් සමග විශාල වශයෙන් කටයුතු කර තිබෙන හිටපු පළමු පංති ක්‍රිකට් ක්‍රීඩකයෙකුගෙන් සූර්යවන්ශිව ආරක්ෂා කළ හැක්කේ කෙසේදැයි විමසූ විට ඔහු අදහස් කිහිපයක්ම ඉදිරිපත් කළා.
“ඔබට සූර්යවන්ශිව ආරක්ෂා කරන්න අවශ්‍යද? ඇත්තම කියනවා නම් ඔබට බැහැ. මොකද, මෘගයන්ගේ ස්වභාවය එය නිසා. ඔහුට වයස 14යි. ඔහු වැරදි කරාවි. ඒ වැරදි හරහා නිවැරදි දේ සොයා ගනීවි.”
“ප්‍රධාන මාර්ගයක් සහ අතුරු මඟක් ඔහු ඉදිරියේ තිබෙනවා. ගමන් කළ යුතු මාර්ගය ඔහු විසින් තෝරා ගත යුතුයි. මෙහිදී පැහැදිලිවම ඔහුගේ දෙමාපියන්ටත් විශාල කාර්යභාරයක් තියෙනවා.”
“අයි.පී.එල්. තරගාවලියෙන් පසුව ඔහුට NCA අවුරුදු 19න් පහළ කඳවුරට යාමට සිදුවනවා. ඔහු එම කඳවුරට පිවිසෙන්නේ මොහමඩ් සිරාජ් සහ ඉෂාන්ට් ෂර්මාගේ පන්දුවලට ක්‍රීඩාංගණයෙන් පිටතට හයේ පහර ගැසූ තරුවක් ලෙසින්.”
“දරුවන් දරුවන් ම වන අතර ඔවුන් දඟකාර කොල්ලන් විය හැකියි. කඳවුරේ සිටින පුහුණුකරුවන් සූර්යවන්ශි ගැන ගෞරව සහිත බියකින් සිටීවි ද එසේත් නැත්නම් ඔහුගේ ක්‍රීඩාව ගැන කටයුතු කරන ගමන් ඔහුට අවශ්‍ය නිදහස ලබා දේවිද?”
“රාහුල් ඩ්‍රාවිඩ් ඔහු ගැන අවුරුද්ද පුරාම බලාවි කියා ඔබ කියනවා නම්, ඒක ප්‍රායෝගික වන්නේ නැහැ. රාහුල් කණ්ඩායම් පුහුණුකරුවෙකු මිස පෞද්ගලික පුහුණුකරුවෙක් නෙවෙයි.”
“මීට වඩා කෙළින් උදාහරණයක් මම දෙන්නම්. හොඳ චේතනාවක් තියෙන පුද්ගලයෙක් රුපියල් කෝටි 20ක් වැයකර සූර්යවන්ශිව අවුරුදු හතරකට කළමනාකරණය කිරීමට ඒජන්සියකට පැවරුවා කියලා හිතමු. එතකොට තවත් ඒජන්සියක් ඔහුගේ දෙමාපියන් අමතා රුපියල් කෝටි 40ක ගිවිසුමක් ගැන කිවුවොත් මොකද වෙන්නේ?”
සූර්යවන්ශි උස් මහත් වන විට ඔහුගේ අවධානය වෙනතකට යොමු කෙරෙන අනෙක් බොහෝ කාරණා ද නම සඳහන් නොකළ එම පුද්ගලයා පෙන්වා දෙනවා.
“රාජස්තාන් රෝයල්ස් සමග ගත කරණ දින 60න් පසුව, සූර්යවන්ශි ට ඔහුගේ ජීවිතය තනියම ගෙන යන්න සිද්ධ වෙනවා. එහිදී ප්‍රදේශීය දේශපාලනඥයින් ඔහුට උත්සවවලට පැමිණෙන ලෙසට නියෝග කරමින් වේදිකාවේ එකට ඉඳගෙන පිංතූර ගනීවි. ඔහුට රාජස්තාන් රෝයල්ස් හි අවම වශයෙන් 14 දෙනෙකුගෙන් යුත් සහාය කාර්ය මණ්ඩලයක් සිටිනවා. බිහාර්වල පස් හය දෙනෙකුත්, NCA හි තවත් 10 දෙනෙකුත් ඉන්නවා.”
“මේකට දෙමාපියන් හා ඒජන්තවරුන් එකතු කළ විට, පුද්ගලයන් 45 දෙනෙක් කෙළින්ම හා වක්‍රාකාරව තීරණ ගැනීමේ අවස්ථාවලට සම්බන්ධ වනවා. මාව විශ්වාස කරන්න… මෙයින් 40ක්ම වැඩකට නැති අය වේවි. නමුත් තීරණාත්මකව සිතන්න සූදානම් ඉතිරි පස් දෙනාට, ඔවුන්ට අවශ්‍ය ඒ නිදහස ලැබේවිද?”
“මේ දෘෂ්ටි අතර කොතැනක හෝ තමයි සූර්යවන්ශිගේ සාර්ථකත්වයේ කතාන්දරය පවතින්නේ…!”
warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී