BREAKING NEWS
Search

විද්‍යා තොරතුරු වාර්තාකරණය ප්‍රවර්ධනය සඳහා ජාතික වැඩසටහනක්.

27

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික විද්‍යා පදනම සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරන ලද “විෂය මූලික විද්‍යා තොරතුරු වාර්තාකරණය” ජනගත කිරීමේ සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (09) පෙරවරුවේ පැවැත්විණ.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට ජාතික විද්‍යා පදනමේ සභාපති මහාචාර්ය සමන් සෙනෙවීර, ජාතික විද්‍යා පදනමේ අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය සේපාලිකා සුදසිංහ, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක (සංවර්ධන) W.P. සෙව්වන්දි මහත්මිය, ආචාර්ය ජයන්ත වත්තවිදානගේ, මහාචාර්ය චන්දන ජයරත්න, මහාචාර්ය ජීවන්ත ප්‍රේමරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු විද්වත් මණ්ඩලයක් සහභාගී වූහ.

එමෙන් ම විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්, මහාචාර්යවරුන්, කථිකාචාර්යවරුන්, විද්‍යා ක්ෂේත්‍රයේ විද්‍යාඥයින්, පර්යේෂකයින්, ආයතන ප්‍රධානීන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන්, මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් ද, මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා, විද්‍යාත්මක තොරතුරු නිවැරදිව හා සත්‍ය ලෙස මහජනතාව වෙත ගෙන යාමේ වැදගත්කම අවධාරණය කළේය.

“විෂය මූලික විද්‍යා තොරතුරු වාර්තාකරණය යනු විද්‍යාත්මක සොයාගැනීම්, නවෝත්පාදන සහ අනෙකුත් විද්‍යාත්මක සංවර්ධනයන් පිළිබඳ නිවැරදි තොරතුරු ප්‍රවෘත්ති, විශේෂාංග ලිපි, වාර්තාමය වැඩසටහන් හෝ ගුවන් විදුලි වැඩසටහන් ලෙස වාර්තා කිරීමයි. මෙය ජනතාවගේ විද්‍යා සාක්ෂරතාවය ඉහළ නැංවීමටත්, විද්‍යාව පිළිබඳ මහජන අවබෝධය වැඩි කිරීමටත් හේතු වේ. එමඟින් ජනතාවට තම එදිනෙදා කටයුතු සම්බන්ධයෙන් වඩාත් දැනුවත් තීරණ ගැනීමට හැකි වනු ඇත,”

මෙම වැඩසටහන මඟින් විද්‍යාත්මක තොරතුරු වාර්තා කිරීමේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත්, මාධ්‍යවේදීන් සහ විද්‍යාඥයින් අතර සහයෝගීතාවය වර්ධනය කිරීමටත් අපේක්ෂා කෙරේ.
ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් වැඩමුළු සහ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද සංවිධායකයින් වැඩිදුරටත් සඳහන් කරයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *