BREAKING NEWS
Search

බදුල්ලේ ඉදිකිරීම්වලින් 80%ක්ම අනවසර ඒ්වා දිස්ත්‍රික් ප්‍රධාන භූ විද්‍යාඥ හර්ෂණී පෙරේරා

529

බදුල්ල දිස්ත්‍රික්කයේ ඉදිකිරීම්වලින් 80%ක් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ අනුමැතියකින් තොරව ඉදිකර ඇතැයි එහි බදුල්ල දිස්ත්‍රික් ප්‍රධාන භූ විද්‍යාඥ හර්ෂනි පෙරේරා මහත්මිය කීවාය.

බොහෝ පිරිස් යම් ඉදිකිරීමත් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන්නේ ඔවුන්ට ණය මුදලක් ලබාගැනීමට හෝ වෙනත් නීතිමය කටයුත්තක් සඳහා යෑමට අවශ්‍ය වුවහොත් පමණක් බවත් ඉදිරියේදී මෙම තත්ත්වය නියාමනය නොකළහොත් විශාල ප්‍රශ්නයක් බදුල්ල දිස්ත්‍රික්කයට ඇති විය හැකි බවත් ඇය පැවසුවාය.

ඇය මේ බව ප්‍රකාශ කර සිටියේ, පසුගිය දිනවල සිදුවූ ආපදා තත්ත්වය සමඟ දිස්ත්‍රික්කයේ ඇතිවූ නායයෑම් ඇතුළු ආපදා පිළිබඳව එම සංවිධානය විසින් කරනු ලබන පරීක්ෂණවල ප්‍රගතිය ගැන කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

එහිදී තවදුරටත් අදහස් පළ කළ භූ විද්‍යාඥ හර්ෂනි පෙරේරා මහත්මිය මෙලෙස අදහස් දැක්වූවාය.

“මිනිසා විසින් සිදුකළ දේවල් නිසා සිදුවූ කණ්ඩි කඩාවැටීම් ගැන අපට මේ නීරීක්ෂණවලදී හඳුනා ගැනීමට ලැබූ ප්‍රධාන දෙයක් වෙනවා. ඇළ සහ ගංඉවුරුවල සිදුකරන ලද ඉදිකිරිම්වලදී සිතු සිතූ ආකාරයට ස්ලැබ් දාලා ඉදිකිරීම් කරලා තිබෙනවා. ඒ නිසා එම භූමිය අස්ථාවර වෙනවා. මේවාට අනුමැතිය දීමේදී ඉදිරියේදී දැඩි තීරණ ගත යුතු වෙනවා.

මේ වන විට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය මඟින් සකස් කරන ලද නායයෑම් ආපදා ලෙස සිතියම්වල දක්නා කලාපයන් අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 68%ක ප්‍රමාණයක් කුමන හෝ නායයෑම් අවදානමකට ලක්වෙන බවට හඳුනාගෙන තියෙනවා.

ඒ නිසා එලෙස වාර්තා වූ නායයෑම් අප සංවිධානය විසින් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ පරීක්ෂා කළාම බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 ආවරණය වන පරිදි ප්‍රධාන නායයෑම් 368ක් අපට වාර්තා වුණා.

ඒවායෙන් බහුතරයක් සිදු වෙලා තිබුණේ කැලෑබද ප්‍රදේශවල එම ස්ථාන 368 තවදුරටත් පරීක්ෂා කරගෙන යන විට අපට දැකගැනීමට හැකි වුණේ නිවාස හා වගා හානිවලට ලක්ව තිබුණේ ඉන් 50%ක් 60%ක් අතර ප්‍රමාණයක් බවයි. මහා පරිමාණයෙන් සිදුවූ නායයෑම්වලින් තුනෙන් දෙකක වගේ පරීක්ෂණ කටයුතු මේ වන විට අවසන් කරලා තියෙනවා. ඉදිරි සති දෙක ඇතුළත සියලුම පරීක්ෂා කිරීම් කටයුතු සිදුකර අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා යැයි ද කීවාය.

Source – Dinamina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!