BREAKING NEWS
Search

නත්තල මුදල් හම්බ කිරීමේ උත්සවයක් නොවේ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ

50

වෙළෙඳ ආර්ථිකය, නත්තල වෙළෙඳ උත්සවයක් කරගත්ත ද එය මුදල් හම්බ කිරීමේ තවත් එක් උත්සවයක් නොවන බව සියලු දෙනා පැහැදිලිව තේරුම්ගත යුතු යැයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.

උස්වැටකෙයියාව ශාන්තමරියා දෙව් මැඳුරේදී පෙරේදා (24) මධ්‍යම රාත්‍රියේ පැවති ප්‍රධාන නත්තල් දේව මෙහෙයට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

“අපි හම්බ කරන කිසිවක් යනකොට අරගෙන යන්න බැහැ. අපි මැරෙන වෙලාවේ මේ සියල්ල දාලා යන්න වෙනවා. ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේ දුන් මේ පණිවිඩයයි වැදගත් වෙන්නේ. බුදුන් වහන්සේත් ඉගැන්වුවෙත් තණ්හාව දුකට හේතුව බවය යනුවෙන් අගරදගුරු හිමියෝ සඳහන් කළහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද පැවසූහ.

“සාමය කියන එක මනුෂ්‍ය වර්ගයාට අත්‍යවශ්‍ය දෙයක්. සෑම මිනිසකුගේම ජීවිතය සාමකාමී වාතාවරණයක් තුළ ගොඩනඟා ගන්නට සෑම මිනිසකුටම අයිතියක් තිබෙනවා. තමන්ගේ අනන්‍යතාවට අනුව, තමන්ගේ සිතුම් පැතුම්වලට අනුව අන්‍යයන් සමඟ සහෝදරත්වයෙන් ජීවත් වෙමින් තමන්ගේ අනාගතය සකසා ගන්නටත් ජීවිතයේ පරිපූර්ණත්වයක් දකින්නටත් සාමය අත්‍යවශ්‍යයි. එහෙත් අද ලෝකය දෙස බලන විට පෙනෙන්නේ සාමය නොමැති පරිසරයක්.

භයානක අවි ආයුධ අමෝරාගෙන විවිධ ජාතීන් එකිනෙකාට විරුද්ධව කටයුතු කරමින් ලෝකය යුද්ධයේ පසුබිමක් මත ගොඩනඟන්නට වෙර දරන කාලයක් අද උදා වී තිබෙනවා.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉපදුණු, උන්වහන්සේ හැදුණු වැඩුණු ශුද්ධ වූ දේශයේ පවා මේ වනවිටත් ජාතීන් දෙකක් අතර එකිනෙකා තේරුම් නොගැනීම එකිනෙකා නොඉවසීම නිසා භයානක යුද්ධයක පෙරනිමිති අපට දකින්නට ලැබෙනවා. ඉතා විශාල ජන සමූහයක් ඒ පවතින යුද්ධය නිසා මරණයට පත්වී ඇති බව අපි දන්නවා.

ලෝකයේ මිනිසුන් ජීවත් වෙන්නේ එකිනෙකා පරදවමින්, ඒ අයට වඩා මම ඉස්මතු විය යුතුයි යන හැඟීම අනුවයි. මෙන්න මේ ආත්මාර්ථකාමීත්වයේ හැඟීම්වලට වහල් වීම නිසාත් ලෝකයේ විවිධ රටවල්වල අවි ආයුධ නිෂ්පාදනය ලෝකයේ ආර්ථිකයට විශාල බලපෑමක් කරන නිසාත් ඒ බලගතු රාජ්‍යයන්ට මුදල් සපයා ගැනීම සඳහා ආයුධ ලෝකයේ විශාල වෙළෙඳපොළක් බවට පත්වී තිබෙන නිසාත් එන්න එන්නම භයානක අවි ආයුධ නිෂ්පාදනය කළා.

ඒ අනුව ඒවායින් මුදල් හම්බ කරන ප්‍රවණතාවක් ලෝකය පුරා පවතින නිසාත් අද ලෝකය යුද්ධ ආයුධවලින් පිරී තියෙන ලෝකයක් බවට පත්වෙලා තිබෙනවා. මේ සේරම අවිආයුධ පුපුරුවා හැරියොත්, විශේෂයෙන්ම පරමාණු ආයුධ පුපුරවා හැරියොත් අපි කාගෙවත් ජීවිත ආරක්ෂා නොවෙන තත්ත්වයක් උදා වෙනවා.

එදා පාප් වහන්සේ කිව්වේ මේක මහා දුෂ්ට, අමනුෂ්‍ය ව්‍යාපාරයක් කියලයි. මේක යුද්ධ මවනවා කියලා උන්වහන්සේ කිව්වා. මිනිසුන් අතර තිබෙන විවිධ වෙනස්කම් පාවිච්චි කරමින්, ඒ වෙනස්කම් උලුප්පා දමමින් ඒ වෙනස්කම් හරහා මිනිසුන් කොටවමින් යුද්ධ ඇති කරන්නට ලෝකය පුරාම අවිආයුධ නිෂ්පාදනය කරන රටවල් සහ ඒ සමාගම් ක්‍රියා කරනවා.

අවිආයුධ නිෂ්පාදනය කරන මුදලින් ජනතාවගේ බඩගින්න නිවන්න ක්‍රමයක් හදන්න පුළුවන් නම් අද ලෝකයට අවශ්‍ය ආහාර ඕනතරම් නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒ තරම් ධනයක් මේ සඳහා යොදවනවා. මිනිසුන් දහස් ගණන්, කෝටි ගණන් ජීවිත පූජා කරන්නේ ආත්මාර්ථකාමී සිතුවිලි නිසයි.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සාමයේ කුමාරයා බවට පත්වන්නේ උන්වහන්සේ මෙලොව, අප අතර ජනිත වෙලා අපේම ජීවිත බෙදාගනිමින් අපත් සමඟ ලෝකයේ සෑම අත්දැකීමක්ම ලබාගනිමින් මිනිසුන් ගලවා ගැනීම සඳහා මේ කුමන්ත්‍රණයට යට වීමට නොදී ආරක්ෂා කිරීම සඳහා තමන් වහන්සේගේ ජීවිතය පූජා කරන්නට කැපවුණු නිසයි.

ලෝකයේ බලවතුන් ඉපදුණු විදිහට නෙවෙයි ක්‍රිස්තුස් වහන්සේ ඉපදුණේ. උන්වහන්සේට හිස තබාගන්නටවත් තැනක් තිබුණේ නැහැ. උන්වහන්සේ දිළිඳු බව තුළ ජීවත් වුණා.

උන්වහන්සේගේ මුළු ජීවිතයම දිළිඳුන් අතර එහෙත් දේව විශ්වාසය ඇති පවුලක් තුළ ජනිත වූ, හැදී වැඩුණු ජීවිතයක් බවට පත්වුණා. ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා කිව්වේ, නැති බැරි, අහිංසක, දුප්පත්කමින් යැපෙන්නෙ නැතුව නිදහසේ ජීවත් වීමේ වාතාවරණයක් තුළ කටයුතු කළ යුතු බවයි.

මේ වෙළෙඳ ආර්ථිකය නත්තල කියන එක හදලා තියෙන්නේ මුදල් හම්බ කිරීමේ තවත් එක උත්සවයක් ලෙස පමණයි.

නත්තල වෙළෙඳ උත්සවයක් නොවන බව පැහැදිලිවම අප තේරුම්ගත යුතුයි. නත්තලට වැදගත් වන්නේ නත්තල් ගහ, නත්තල් සීයා සහ නත්තල් ගවලෙන නෙවෙයි.

වැදගත් වන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපට පෙන්වා දුන් මාර්ගය වටහාගෙන යන්න ද කියන එකයි. ඒ මාර්ගයේ ගමන් කිරීමයි.

ක්‍රිස්තු ධර්මය කියන්නේ අතහැරීම. අතහැරීමක් නැතිව ක්‍රිස්තු ධර්මයක් නෑ. ක්‍රිස්තුස් වහන්සේ ජීවත් වුණේ හැමදේම අතහරිමින්. මේ සඳහා තමයි උන්වහන්සේ බිහි වුණේ. ගවලෙනක් තෝර ගත්තේ, දුප්පත මවුපියන් තෝරගත්තේ, සමාජයේ නැති බැරි අය අතර ජනිත වුණේ.

මෙන්න මේ දේ පෙන්නුම් කරලා දෙන්න ඕනෑ. මේ ජීවිතය තුළ අපි ගොඩාක් වෙලාවට මේ ලෞකික ධනය, ලෞකික බලය, ලෞකික සම්පත්වල සිරකරුවන් වෙලා ජීවත් වෙනවා. බුදුන් වහන්සේ උගන්නපු ධර්මයේත් තියෙන්නේ අන්න ඒකයි. තණ්හාව තමයි දුකට හේතුව. අපේ සමාජය පිරිසුදු කිරීමට නම් මේ තණ්හාව නැතිකර යුතුයි.Ó

මේ ගංවතුරක් ඇවිල්ලා අපිට මහ විනාශයක් කළා සහෝදරවරුනි. ඇයි, ඒ, ස්වභාවධර්මය ආත්මාර්ථකාමී ලෙස සමහර අය පාවිච්චි කරන නිසා. එසේ පාවිච්චි කරන්නට දේශපාලන තලයේ ඇතැම් අය උදවු දුන්න නිසා. උදවු දෙන නිසා. පරිසර දුෂණය සහ මේ ආත්මාර්ථකාමී පැවැත්ම, කෑදරකම, මේ ධනය එකතු කරගැනීමේ කෑදරකම. මොකද මේ කිසිම දෙයක් අපිට අරන් යන්න හම්බ වෙන්නේ නෑ. මැරෙන වෙලාවේදී සියල්ලම අතහැරදාලා යන්න වෙනවා. ක්‍රිස්තුස් වහන්සේ දෙන මේ පණිවිඩය අත්හැරීමේ වැදගත්කම , අනුන් ගැන සිතා ජීවත් වීමේ වැදගත්කම මේක තමයි ක්‍රිස්තු ධර්මය යැයි උන්වහන්සේ කීහ.“

ඡායාරූප – සුලෝචන ගමගේ

Source – Dinamina ( නෙරංජලා වික්‍රමසිංහ )




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!