BREAKING NEWS
Search

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පරිගණක සහ ඊමේල් දත්ත පද්ධතිය හිතාමතාම මකා දමලා..!

534

 

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පරිගණක සහ ඊමේල් දත්ත පද්ධතිය හිතාමතාම මකා දමා ඇති බවට කොළඹ විශ්ව විද්‍යාලයේ ඩිජිටල් වෝහාරික පරීක්ෂණයකින් තොරතුරු අනාවරණය වී ඇත. මෙම දත්ත මකා දැමුවේ කවුරුන්ද, කාගේ වුවමනාවටද සහ එය දේශීය හෝ විදේශීය කුමන්ත්‍රණයක්ද යන්න සොයා බැලීම සඳහා

පුළුල් ජාත්‍යන්තර විමර්ශනයක් සිදු කිරීමට රජය තීරණය කර ඇති බව නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

 

අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි මහතා ඉදිරියේ නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා මේ බව සඳහන් කළේය. නැවේ කපිතාන්වරයා විසින් දේශීය නියෝජිත ආයතනයට යොමු කළ ඊමේල් පණිවිඩ මකා දමා ඇති බවට ද මෙහිදී කරුණු ඉදිරිපත් විය. මෙම ජාත්‍යන්තර පරීක්ෂණය සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට අධිකරණ අමාත්‍යවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් යොමු කර ඇති බවත්, අනුමැතිය ලැබුණු විගස අදාළ දත්ත පද්ධතිය ජාත්‍යන්තර පරීක්ෂණාගාරයකට යොමු කරන බවත් ඔහු පැවසීය.

දත්ත මැකීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් දේශීය නැව් සමාගමේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ ප්‍රසන්න ජයවර්ධන සහ සහකාර අධ්‍යක්ෂ රොෂාන් සෙනෙවිරත්න යන සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු හෙළිදරව් විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත සිටින සී. කොන්සන්ස් සමාගමේ

නියෝජිතයන් ඇතුළු තවත් පිරිසක් ද අධිකරණයේ පෙනී සිටියහ.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරළ මහතා පැවසුවේ, තම සේවාදායකයන් විමර්ශන සඳහා පූර්ණ සහයෝගය ලබා දී ඇති බවයි. දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ විසිපහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය. විමර්ශන ප්‍රගතිය ලබන 24 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කෙරිණි.

2021 මැයි 19 වන දින ගිනිගත් එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දත්ත පද්ධතිය සහ ඊමේල් පණිවිඩ විශාල ප්‍රමාණයක් හිතාමතාම මකා දමා කරුණු වසන් කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.

gossip lanka news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *