ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් සිය ධූරයෙන් ඉවත්වීමට සූදානම් වීමත් සමඟ, මීළඟ නායකත්වය සඳහා සුදුසු පුද්ගලයෙකු තෝරා ගැනීමේ කටයුතු සමාගම විසින් වේගවත් කර තිබේ.
මූල්‍ය වෙළෙඳපොළ වාර්තා පෙන්වා දෙන පරිදි, වසර 14කට අධික කාලයක් තාක්ෂණික ලෝකයේ දැවැන්තයා මෙහෙයවූ කුක් ලබන වසරේදී විශ්‍රාම ගැනීමට ඉඩ ඇති අතර, ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස දෘඩාංග ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජෝන් ටර්නස්ගේ නම ඉදිරියෙන් කියැවේ.
වයස අවුරුදු 65 සම්පූර්ණ කළ කුක්ගේ විශ්‍රාම යාම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති වුවද, සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ විධායකයින් මේ පිළිබඳ අභ්‍යන්තර සාකච්ඡා මෑතකදී තීව්‍ර කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, ඇපල් සමාගම සිය තීරණාත්මක නිවාඩු කාල පරිච්ඡේදය ආවරණය වන ජනවාරි අග භාගයේ නිකුත් කරන ඉපැයීම් වාර්තාවට පෙර නව ප්‍රධාන විධායක නිලධාරියෙකු ප්‍රකාශයට පත් කිරීමට ඉඩක් නොමැති බව පැවසේ.
මෙම නායකත්ව හුවමාරුවට සූදානම් වීම, ඇපල් සමාගමේ වර්තමාන කාර්ය සාධනය හා සම්බන්ධ ගැටලුවක් නොවන බව අභ්‍යන්තර ආරංචි මාර්ග අවධාරණය කරයි. ස්ටීව් ජොබ්ස්ගෙන් පසු 2011 අගෝස්තු මාසයේදී කුක් වැඩ භාර ගන්නා විට ඩොලර් බිලියන 350ක් පමණ වූ සමාගමේ වටිනාකම, මෑතකදී ප්‍රථම වරට ඩොලර් ට්‍රිලියන 4 සීමාව පසු කරමින් ආයෝජක විශ්වාසය තහවුරු කරගෙන ඇති අතර, ඉදිරි නිවාඩු කාලයේදී අයිෆෝන් අලෙවිය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙෆ් විලියම්ස් වසර 27ක සේවයෙන් පසු විශ්‍රාම යාම සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී ලූකා මැස්ට්‍රි සිය ධූරයෙන් ඉවත්වීම වැනි පුළුල් විධායක මට්ටමේ වෙනස්කම් මධ්‍යයේ මෙම නායකත්ව සංක්‍රාන්තිය සිදුවෙමින් පවතී. විලියම්ස් කලෙක කුක්ගේ අනුප්‍රාප්තිකයා විය හැකි බවට සැලකූවද, ඔහු මේ වන විට මෙහෙයුම් වගකීම් සබී ඛාන් වෙත පවරා ඇති අතර කෙවන් පරෙක් නව මූල්‍ය නිලධාරියා ලෙස පත් වී ඇත.
මේ අතර, ඇපල් නිෂ්පාදන සැලසුම් කණ්ඩායමට 2001 වසරේදී එක්වූ 50 හැවිරිදි ජෝන් ටර්නස්, අයිෆෝන්, අයිපෑඩ් සහ මැක් ඇතුළු දෘඩාංග කළඹ හැඩගැන්වීමේ දශක දෙකක පළපුරුද්දක් සහිතව ඉදිරිපෙළ අපේක්ෂකයා බවට පත්ව සිටී. මෘදුකාංග ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ක්‍රේග් ෆෙඩරිගි සහ අලෙවි අංශයේ ග්‍රෙග් ජොස්වියාක් වැනි නම් ද සාකච්ඡාවට බඳුන් වුවද, මෑත කාලීන නිෂ්පාදන එළිදැක්වීම් සහ ගනුදෙනුකරුවන් පිළිගැනීම් වැනි ප්‍රධාන විධායක නිලධාරී වගකීම්වලට ටර්නස් වැඩි වශයෙන් සහභාගී කරවා ගැනීම විශේෂත්වයක් ලෙස කාර්මාන්ත නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
Gossip lanka News.







