BREAKING NEWS
Search

කොරියාවේ මාළු ටැංකියක මියගොස් සිටි ප්‍රසාද් හා සංජය ගැන විවෘත තීන්දුවක්

4542

දකුණු කොරියාවේ මත්ස්‍ය ගොවිපොළක සේවය කරමින් සිටියදී සිදුවූ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ ශ්‍රී ලාංකික තරුණයින් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දීමට මීගමුව නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා පියවර ගෙන තිබේ. දකුණු කොරියාවේ සිට මෙම දේහයන් දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව පසුගිය 18 වැනිදා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කෙරුණු අතර,

මීගමුව රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ඩබ්.ඒ.එස්.ආර්. වික්‍රමආරච්චි මහතා විසින් එය මෙහෙයවන ලදී. ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා මරණයට නිශ්චිත හේතුව දැක්වීම තාවකාලිකව පමා කරමින්, අවසන් කටයුතු සිදු කිරීම සඳහා දේහයන් ඥාතීන් වෙත මුදා හැරීමට පොලිසියට නියෝග කළේය.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුරුණෑගල, මොරගොල්ල, දෙවෝගම ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි විවාහක තරුණයකු වූ සංජය සේමසිංහ බණ්ඩාර සහ මාතලේ, රත්කින්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි අවිවාහක තරුණයකු වූ චතුරංග ප්‍රසාද් ජයතුංග යන අයයි.

මෙම තරුණයින් දෙදෙනා දකුණු කොරියාවේ දකුණු ක්යෝන්සන්ග් පළාතේ ගෝසෝං ප්‍රදේශයේ පිහිටි මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක සේවය කරමින් සිටියදී මෙම ඛේදවාචකයට මුහුණ පා ඇත. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්තවලට අනුව ඔවුන් දෙදෙනා 2024 සහ 2025 වසරවලදී කොරියානු රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.

මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබා දුන් මියගිය සංජය සේමසිංහගේ බිරිඳ වන කාවින්ද්‍යා ඉසානි විජේසූරිය මහත්මිය ප්‍රකාශ කළේ, ගොවිපොළේ මසුන් ඇති කරන ටැංකියක් පිරිසිදු කිරීමට යාමේදී කොරියානු ජාතිකයකු සහ තම සැමියා ඇතුළු තිදෙනෙකු ඊට වැටී මියගොස් ඇති බවට දුරකථන මාර්ගයෙන් දැනගන්නට ලැබුණු බවයි. එමෙන්ම මියගිය චතුරංග ප්‍රසාද්ගේ මව වන අනුලාවතී මහත්මිය සාක්ෂි දෙමින් කියා සිටියේ තම පුත්‍රයා ඇතුළු පිරිසක් වතුර ටැංකියකට වැටී හුස්ම හිරවීමෙන් මියගිය බවට කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයෙකු තමන්ට දැනුම් දුන් බවයි.

කොරියානු පොලිස් වාර්තා අනුව මෙම මළ සිරුරු සොයාගෙන ඇත්තේ පසුගිය නොවැම්බර් 09 වැනිදා රාත්‍රී කාලයේදීය. අදාළ ගොවිපොළේ සේවය කළ කොරියානු ජාතික වැඩ පරීක්ෂකවරයා සම්බන්ධ කර ගැනීමට නොහැකි බව පවසමින් ඔහුගේ පුත්‍රයා කළ පැමිණිල්ලකට අනුව පොලිසිය එම ස්ථානය පරීක්ෂා කර ඇත. එහිදී මීටර් 4ක් පළල, මීටර් 3ක් දිග සහ මීටර් 2ක ගැඹුරකින් යුත් ජලය පිරී තිබූ ටැංකියක් තුළ තිබී ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගේ සහ කොරියානු ජාතිකයාගේ සිරුරු සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබේ.

සිද්ධිය වූ ස්ථානයේ තිබූ ටැංකිය මත්ස්‍යයින් බෝ කරන ස්ථාන වෙත ජලය පොම්ප කිරීමට පෙර උෂ්ණත්වය පාලනය කිරීම සඳහා යොදාගන්නා එකක් බව අනාවරණය වී ඇත. මරණයට හේතුව දියේ ගිලීම ද නැතහොත් විෂ වායුවක් ආඝ්‍රාණය වීම ද යන්න පිළිබඳව කොරියානු පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මළ සිරුරු සොයාගන්නා විට එක් ලාංකිකයෙකු රාජකාරි ඇඳුමින් ද, අනෙක් දෙදෙනා සාමාන්‍ය ඇඳුමින් ද සැරසී සිටි බව කොරියානු මාධ්‍ය වාර්තා කර තිබිණි. මියගිය අයගේ මිතුරන් සැක පළ කරන්නේ ටැංකිය පිරිසිදු කිරීමට යාමේදී විෂ වායුවක් ආඝ්‍රාණය වී සිහිසුන්ව ඇද වැටීමෙන් මෙම මරණ සිදුවන්නට ඇති බවයි.

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *