BREAKING NEWS
Search

රටම කතා කරන සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම – මෙන්න සම්පූර්ණ කතාව

393

 

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශන යටතේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අද (25) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පොලීසිය පවසන්නේ, ඔහුව පැය 72ක රැඳවුම් නියෝගයක් යටතේ ප්‍රශ්න කිරීමට නියමිත බවයි. 2019 අප්‍රේල් 21 වැනිදා සිදු වූ පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 273ක් ජීවිතක්ෂයට පත්වූ අතර, දිවයින පුරා ස්ථාන 8කදී ප්‍රහාර 10ක් එල්ල විය.

මෙම ප්‍රහාර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් සහ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් ඇතුළු විමර්ශන ගණනාවක් පැවැත්වුණි. ඒ අනුව නවුෆර් මවුලවි ඇතුළු සැකකරුවන් 25 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇති අතර, නඩු විභාගය මේ වනවිටත් ක්‍රියාත්මකය.

කෙසේ වෙතත්, ප්‍රහාරයට දේශපාලන සම්බන්ධයක් තිබිය හැකි බවට දිගින් දිගටම චෝදනා එල්ල වූ අතර, බ්‍රිතාන්‍යයේ Channel 4 වාර්තාමය වැඩසටහනක් මගින්ද මේ සම්බන්ධයෙන් තවත් චෝදනා මතු විය. එහිදී හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයෙකු සහ අන්තවාදීන් අතර හමුවක් පැවති බවට ප්‍රකාශයක් හෙළි විය.

ඒ අනුව CID විසින් රහසිගත විමර්ශන ක්‍රියාත්මක කරමින්, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට අවස්ථා කිහිපයකදී කරුණු දක්වා තිබුණි.

අද පෙ.ව. 8.10ට පමණ, සුරේෂ් සලේ මහතා පෑලියගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකට යමින් සිටියදී CID නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ. ඔහුට එල්ල වී ඇත්තේ පාස්කු ප්‍රහාරයට ආධාර අනුබල දීම සහ කුමන්ත්‍රණය කිරීමේ චෝදනායි.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුව CID මූලස්ථානයට රැගෙන ගොස් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, ඔහු භාවිත කළ පරිගණක, බැංකු ගිණුම්, ඊමේල් සහ නිවසද පරීක්ෂා කිරීමට නියමිත බව සඳහන් වේ.

විමර්ශකයින්ගේ අවධානය යොමු වී ඇත්තේ, පාස්කු ප්‍රහාරය පිළිබඳව සලේ මහතාට කලින් තොරතුරු තිබුණේද, තිබුණේ නම් ඒවා අදාළ පාර්ශ්වයන්ට දැනුම් දීමට ඔහු අසමත් වූයේද යන්න සම්බන්ධයෙන්ය.

එමෙන්ම, මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් බලවත් පුද්ගලයන් කිහිපදෙනෙකු පිළිබඳවද CID අවධානය යොමු කර ඇති බව ආරංචි මාර්ග පවසයි.(Ape Rata)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!