BREAKING NEWS
Search

පාසලේ මුරකරුට දණගසා වැන්ද විදුහල්පතිනිය කියන කතාව..ඔහු රාජකාරිය අකුරටම ඉටුකරපු නිසයි මට මගේ රාජකාරිය පහසු වුණේ…

646

“ගුණවත් නැණවත් දරුවෝ වුණහම වැඩිහිටියන්ට වඳින්න, ගරු කරන්න පුරුදු වෙන්න ඕනෑ.”

කුරුණෑගලට හැතැප්ම පනහක් පමණ එහායින් වූ නිකවැව ගමේ ජීවත් වූ පුංචි දුවෙකුට ඇගේ අම්මා කියාදුන් පාඩමයි ඒ. නිවසේ ආලින්දයේ පැදුරක් එළාගෙන, තම දරුවන් සිව්දෙනා වට කරගෙන එදා ඇය කී දේට කන්දුන් එක් දියණියක් මේ වනවිට බොරැල්ල සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර විද්‍යාලයේ විදුහල්පතිනිය යි. බොහෝ අය ඉහළට යද්දී පහල ඇති ඉනිමං අමතක කළ ද ශිරාණි කුසුම් විජේතුංග විදුහල්පතිතුමිය කිසිදිනෙක එහෙම කර නැත. තම විදුහලේ 37 වසරක් සේවයකොට විශ්‍රාම ගිය ආරක්ෂක නිලධාරියාට ඈ පසුගියදා සියල්ලන් ඉදිරියේ දණ ගසා වැන්දේ ද ඒ නිසා විය යුතුය.

“අපි පුංචි කාලේ ඉඳන් අපේ ගෙදරට යන එන හැම වැඩිහිටියෙකුටම වඳින්න, ගරු කරන්න පුරුදුවෙලා හිටියා. ඒ පුරුද්ද අදටත් මට මගහැරිලා නෑ. මම මේ පාසලට විදුහල්පතිතුමිය වෙලා ආවේ 2024 අවුරුද්දේ. එදා ඉඳන් පාසලින් විශ්‍රාම ගිය හැම ගුරුවරයෙක් වෙනුවෙන්ම පුංචි හෝ උත්සවයක් සංවිධානය කළා. එහිදී ඔවුන්ගේ ජ්‍යේෂ්ඨත්වයට සහ කළ සේවයට ගරු කරමින් ඒ හැම ගුරුවරයෙකුටම වගේ වැඳලා තියෙනවා. ඉතින් පසුගිය පෙබරවාරි 07 වැනිදා අපේ පාසලේ විශ්‍රාම ගිය ආරක්ෂක නිලධාරියා වෙනුවෙනුත් ඒ යුතුකම ඒ විදියටම ඉෂ්ට කළා. විදුහල්පතිවරිය විදියට මගේ වගකීම හරියටම ඉෂ්ට සිද්ධ කරන්න මට සහයෝගයක් දක්වපු පිරිස අතර ඔහුත් එක්කෙනෙක්. ඔහු ඔහුගේ රාජකාරිය අකුරටම ඉටුකරපු නිසයි මටත් මගේ රාජකාරිය පහසුවෙන් කරන්න පුළුවන් වුණේ…”

ඇතැම් අය ඒ සඳහා විවිධ නිර්වචන ඉදිරිපත් කළ ද ශිරාණි මැඩම් එසේ කළේ අවවාදයට වඩා ආදර්ශය උතුම් බව තම පාසලේ දුවා දරුවන්ට ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වමිනි.

“දඬුවම්, අවවාදවලට වඩා ආදර්ශවත් වීම වටින බව මම විශ්වාස කරනවා. දරුවෙකුට දඬුවමක් කරලා හෝ අවවාදයක් දීලා යමක් පෙන්වලා දෙනවට වඩා ආදර්ශයක් මඟින් යමක් ඒත්තුගන්වන එක පහසුයි. ඒ නිසා මං හැමතිස්සෙම උත්සාහ කරන්නේ මගේ පාසලේ දුවා දරුවන්ට ආදර්ශයක් වෙන්න. අර කතාවකුත් තියෙනවනේ අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා.”

ඇගේ ආදර්ශවත් බව සියලු වැඩවලට පොදුය. මීට දෙවසරකට පෙරාතුව බොරැල්ල කන්නන්ගරයට එන විට ඒ පාසලේ යටිතල පහසුකම් තිබුණේ අවම තැනකය. ඒ නිසා විදුහල්පති පුටුවේ වාඩි වූ සැනින් එම යටිතල පහසුකම්වල තත්ත්වය උඩු යටිකුරු කරන්නට ඈ කටයුතු කළාය. ඒ නිසා අද කන්නන්ගරයේ දුවා දරුවන් පෙරට වඩා පහසුවෙන් සැනසීමෙන් අකුරු උගනිති.

“ඒ වෙලාවේ මම ආදිශිෂ්‍ය සංගමයත් එක්ක එකතුවෙලා ඒ යටිතල පහසුකම් ටික ආපහු ගොඩනැගුවා. ඊළඟට අවම මට්ටමක තිබුණු දරුවන්ගේ පැමිණීම වර්ධනය කරන්න හොඳම පන්තිය තෝරන වැඩපිළිවෙළක් දියත් කළා. දරුවෝ අගයලා හැම අවුරුද්දකම තෑගි ප්‍රදානෝත්සව පැවැත්තුවා. ඒ විතරක් නෙමෙයි අවුරුදු දාහතකට පස්සේ බිග්මැච් එකක් ක්‍රීඩා කරන්න අපේ පාසලේ දරුවන්ට ගිය අවුරුද්දේ පුළුවන් වුණා.”

එහිදී ඒ සියල්ල මෙහෙයවීම වෙනුවෙන් අවශ්‍ය පන්නරය ඈට ලැබී තිබුණේ කුඩා කළ ඇගේ නිවස ඇසුරෙන් බවයි ඇය ධරණීත් සමඟ පැවසුවේ.

“මගේ අම්මා ඒ කාලයේ සේවය කළේ ප්‍රාථමික විද්‍යාලයක. ඉතින් හැමදාම වැඩඇරිලා ආවම අම්මා මටයි අයියටයි, අක්කටයි, නංගිටයි කවි, කතන්දර, සිංදු කියලා දෙනවා. ඒ අතරින් එදා අම්මා කියලා දීපු හැම කතන්දරයකම වගේ වීර චරිත හිටියා. පසුකාලීනව මගේ පෞරුෂය ගොඩනැගෙන්න ඒ වීර චරිතත් බලපෑවා කියලා මට හිතෙනවා.”

උසස්පෙළින් පසු කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණු ඇය පාසල් ගුරු සේවයට එකතු වී ඇත්තේ 2010 වසරේය. එහිදී ඇයට මුල්ම පත්වීම ලැබී ඇත්තේ වයඹ පළාතේ අතිදුෂ්කර පාසලක් වෙන පොල්පිතිගම මහානාම විද්‍යාලය වෙතය.

“එච්.එම්.බී.හේරත් සර් තමයි මට ගුරු ජීවිතේ මුණගැහුනු මුල්ම ගුරුවරයා වුණේ. ඔහුගේ මගපෙන්වීමත් සමඟින් මම ඒ පාසලේ දරුවන්ට ඉගැන්නුවේ භූගෝල විද්‍යාව විෂය. එහිදී මං ගුරුවරයා කියන එකෙන් එහාට ගිහින් අම්මා කෙනෙක් වගේ දරුවන්‍ට ළංවුණා. ඒ දරුවන්ගේ කතාවලට ඇහුන්කන් දුන්නා. මොකද ඒ පාසලේ බහුතරයක් හිටියේ කරදර ප්‍රශ්නවලින් ආර්ථික අඟහිගකම්වලින් බැටකාපු දරුවෝ. ඒ දරුවෝ එක්ක ගතකරපු කාලය තමයි අදටත් මගේ ගුරු ජීවිතයේ සුන්දරම කාලය.”

එයින් පසු ඇයට 2016 වසරේ නුගේගොඩ ශාන්ත තෝමස් බාලිකා විද්‍යාලය වෙත මාරුවීමක් ලැබිණි.

“මං 2019 දි විදුහල්පති සේවා තරඟ විභාගය ලියලා සමත් වුණා. ඊටපස්සේ මට සහකාර විදුහල්පතිනියක් විදියට කොළඹ සුජාතා බාලිකා විද්‍යාලයේ රාජකාරි කරන්න අවස්ථාව උදාවුණා. ඒකෙ මං අවුරුදු 5ක් රාජකාරිය කළා.”

බොරැල්ල සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලයේ මුල්පුටුව ශිරාණි මැඩම්ට ලැබුණේ ඉන් අනතුරුවය. ඒ දින වකවානු හරියටම කිව්වොත් 2024 අප්‍රේල් මසය. එතැන් පටන් අවවාදයට හා දඬුවමට වඩා ආදර්ශය බොහෝ උතුම් බව ඔප්පු කරමින් විදුහල්පති තනතුරේ රැඳී සිටින ඈ ගැන එක්දෙයක් නම් අපට පැහැදිළිය. ඒ ශිරාණි මැඩම්ව බොරැල්ල කන්නන්ගරයේ ඉගෙනගන්නා දුවා දරුවන්ගේ පමණක් නොව අධ්‍යයන, අනධ්‍යයන කාර්යමණ්ඩලවල සේවය කරන බොහෝදෙනාගේ පවා හදවත් සොරකම් කර ඇති බවය.

තවත් චිරාත් කාලයක් මේ රටේ දරු පරපුර වෙනුවෙන් අනගි මෙහෙවරක නිරත වෙන්නට එතුමියට ශක්තිය, ධෛර්යය ලැබේවා…

නෙත්මි තෂාරා

උපුටාගැනීමකි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!