BREAKING NEWS
Search

චීවරධාරින් 22ක් ගුවන් තොටුපලේදී රුපියල් බිලියනයකට වැඩි මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට…!

157

රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් ‘කුෂ්’ සහ ‘හෑෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ චීවරධාරීන් 22 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙය කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරීන් පිරිසක් අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙන්ම, මෙතෙක් අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය ලෙස ද වාර්තා වේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු විශේෂ තොරතුරක් මත ඊයේ (25) රාත්‍රී මෙම වැටලීම සිදු කෙරිණි.

සැකකරුවන් රැගෙන ආ ගමන් මලු තුළ තිබූ පාසල් උපකරණ සහ රසකැවිලි අතර ව්‍යාජ පතුල් සකසා සඟවා තිබූ කිලෝග්‍රෑම් 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් නිලධාරීන් විසින් සොයාගන්නා ලදී.

එක් චීවරධාරියෙකු සන්තකයේ තිබූ ගමන් මලු තුළ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05කට අධික ප්‍රමාණයක් අඩංගු වී තිබූ බව සඳහන් වේ.

අනුග්‍රහකයෙකුගේ මූල්‍ය දායකත්වයෙන් මෙම පිරිස පසුගිය 22 වැනිදා තායිලන්තය බලා ගොස් තිබේ.

තායිලන්තයේ රැඳී සිටි කාලය තුළ මොවුන් ගිහි වෙස් ගෙන විවිධ ක්‍රියාකාරකම්වල නිරත වී ඇති බවට සාක්ෂි ඔවුන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී හමු වී ඇත.

අත්අඩංගුවට ගත් පිරිස දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි, උසස් අධ්‍යාපනය හදාරන තරුණ චීවරධාරීන් බව හඳුනාගෙන තිබේ.

සැකකාර චීවරධාරීන් පිරිස වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අද දින මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!