BREAKING NEWS
Search

තවත් ගල් අගුරු නැවු දෙකක් ප‍්‍රමිතිය බාල බව හෙලිවේ – සමාගම මීට පෙර එවූ නැව් 3ක බාල ගල් අඟුරු එවලා..!

119

ආන්දෝලනයට තුඩු දී ඇති ‘ට්‍රයිඩන්ට් කෙම්ෆාර්’ (Trident Chemphar) සමාගම විසින් මෙරටට එවනු ලැබූ තවත් ගල්අඟුරු නැව් දෙකක සාම්පල පරීක්ෂණවලින් අසමත් වී ඇති බව ආරංචි මාර්ග පවසයි.

මීට පෙර අවස්ථා තුනකදී ද මෙම සමාගමේ සැපයුම් ප්‍රමිතියෙන් තොර බව තහවුරු වූ අතර, ඒ අනුව මෙතෙක් අසමත් වූ සමස්ත ගල්අඟුරු තොග සංඛ්‍යාව පහක් දක්වා ඉහළ ගොස් ඇත.

ගල්අඟුරු තොගවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා ලක්විජය බලාගාරය විසින් පත් කරන ලද ‘කොටෙක්නා’ (Cotecna) නැමැති විද්‍යාගාරය මඟින් මෙම සාම්පල පරීක්ෂාව සිදු කර ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ අංක 1, 9, 12, 13 සහ 14 දරන නැව් මඟින් එවූ තොග ටෙන්ඩර් කොන්දේසිවලට අනුකූල නොවන බවයි.

විශේෂයෙන්ම 12, 13 සහ 14 යන නැව්වලින් ගෙන ආ ගල්අඟුරු සාම්පලවල දළ තාප ජනන ධාරිතාව (GCV) 4,800 ට වඩා අඩු අගයක් ගෙන තිබේ.

ටෙන්ඩර් පිරිවිතරයන්ට අනුව මෙම අගය 5,900 ත් 6,150 ත් අතර මට්ටමක පැවතිය යුතුය. යම් ගල්අඟුරු තොගයක තාප ජනන ධාරිතාව අඩු වීම යනු විදුලි ඒකකයක් නිපදවීම සඳහා වැඩි ගල්අඟුරු ප්‍රමාණයක් දහනය කිරීමට සිදු වීමයි.

සපයන ලද ගල්අඟුරු ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් ට්‍රයිඩන්ට් සමාගම වෙත දැනටමත් අමෙරිකානු ඩොලර් මිලියන 8.1 ක දඩ මුදලක් පනවා තිබේ.

එසේ වුවද, දිගින් දිගටම සිදුවන සැපයුම් පමාවන් සහ ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු සැපයීම නොසලකා, එම සමාගම සමඟ ඇති කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමට බලධාරීන් මෙතෙක් පියවර ගෙන නොතිබීම විශේෂත්වයකි.

සමස්තයක් ලෙස එම සමාගමෙන් නැව් වාර 25 ක් ඇණවුම් කර ඇති අතර, මේ වන විට 16 වැනි නැව ගොඩබෑමේ කටයුතු සිදුවෙමින් පවතී. මීට අමතරව හදිසි මිලදී ගැනීම් යටතේ ඇණවුම් කළ ගල්අඟුරු නැව් ද මෙරටට ළඟා වෙමින් පවතින බව වාර්තා වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!