ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු සමස්ත විධායක කමිටුව සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. කොළඹ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී පැවැති තීරණාත්මක විධායක කමිටු රැස්වීමකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
වත්මන් පරිපාලනයේ නිල කාලය අවසන් වීමට තවත් මාස හතක කාලයක් ඉතිරිව තිබියදී, සමස්ත විධායක කමිටුවම මෙලෙස ඉල්ලා අස්වීම විශේෂත්වයකි.
මෙම රැස්වීමේදී වත්මන් පරිපාලනය සම්බන්ධ අවසන් තීරණ කිහිපයක් සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත නිලවරණය පිළිබඳවද සාකච්ඡා වී තිබේ.
2019 වසරේදී ප්‍රථම වරට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරයට පත් වූ ශම්මි සිල්වා මහතා, වසර හතක කාලයක් තුළ අවස්ථා හතරකදී එම ධුරය හොබවා ඇත.
ඔහුගේ පාලන කාලය තුළ විවිධ චෝදනා එල්ල වූ අතර, 2023 වසරේදී එවකට ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි රොෂාන් රණසිංහ මහතා විසින් මෙම කමිටුව ඉවත් කර අතුරු කමිටුවක් පත් කිරීමට පියවර ගත්තේය.
කෙසේ වෙතත්, එය දේශපාලන මැදිහත්වීමක් බව පවසමින් ජගත් ක්‍රිකට් කවුන්සිලය (ICC) ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කළ අතර, පසුව ශම්මි සිල්වා මහතා ප්‍රමුඛ කමිටුව යළි බලය තහවුරු කර ගැනීමට සමත් විය.
මෙම ඉල්ලා අස්වීමට පෙර, මෑතකදී පැවැති ලෝක මලල ක්‍රීඩා රන් පදක්කම් ලාභී රුමේෂ් තරංග වෙනුවෙන් රුපියල් කෝටියක (මිලියන 10ක) මුදලක් ප්‍රදානය කිරීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබුණි.
විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව අතුරු පාලක කමිටුවක් පත් කිරීමට නියමිතය.
මේ අතර නිල නොවන වාර්තා පවසන්නේ ක්‍රිකට් නව අතුරු පාලක කමිටුවේ සභාපතිවරයා ලෙස සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පත් කිරීමට වැඩි ඉඩකඩ ඇති බවය.
එමෙන්ම හිටපු හමුදාවතේ සරත් ෆොන්සේකා මහතාගේ නම ද මේ සම්බන්ධයෙන් සලකා බැලීමෙන් ඇති බවද දැනගන්නට තිබේ.








