ගරු පරිසර අමාත්‍ය (වෛද්‍ය) ධම්මික පටබැඳි මහතා දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – ඉරාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත් විය.
මෙම සංගමය දසවැනි පාර්ලිමේන්තුව සඳහා ස්ථාපිත කිරීමේ රැස්වීම පසුගියදා (09) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් මහතා ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
එසේම එම රැස්වීමේදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතා ශ්‍රී ලංකා – ඉරාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් ධුරයට තේරී පත් විය.
මෙහිදී අදහස් දැක්වූ, ගරු කථානායකවරයා, ශ්‍රී ලංකාව සහ ඉරානය අතර පවතින දිගුකාලීන සම්බන්ධතාවය සිහිපත් කළ අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. ඉරානය ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන සහ ආර්ථික හවුල්කරුවෙකු වී ඇති බවත්, විශේෂයෙන් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉරානය අරමුදල් ලබාදුන් බවත් ඔහු සිහිපත් කළේය. ශ්‍රී ලංකාවේ තේ මිලදී ගන්නා ප්‍රධාන ගැනුම්කරුවෙක් වන ඉරානය ජාත්‍යන්තර සංසදවලදී ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය ද කථානායකවරයාගේ ඇගයීමට ලක්විය. අභිනවයෙන් පිහිටුවන ලද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය අන්තර් පාර්ලිමේන්තු සබඳතා වර්ධනය කිරීමට සහ වෙළඳ, ආර්ථිකය සහ සංස්කෘතික ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීමට උපකාරී වනු ඇතැයි කථානායකවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් මහතා, අලුතින් තේරී පත් වූ නිලධාරී මණ්ඩලයට සුබ පැතූ අතර ඉරානයේ ජනතාව අතර ශ්‍රී ලංකාව විශේෂ ගෞරවයක් හිමිකර ගන්නා බව ප්‍රකාශ කළේය. ආර්ථික සංවර්ධන ක්ෂේත්‍රවල සහ ජාත්‍යන්තර සංසදවලදී ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට ඉරානය අපේක්ෂා කරන බව ඔහු පැවසීය. පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය හරහා පාර්ලිමේන්තු සහයෝගීතාවය සහ ජනතාව අතර සබඳතා වර්ධනය කිරීමට හැකි වනු ඇතැයි තානාපතිවරයා විශ්වාසය පළ කළේය. කෘෂිකර්මාන්තය, තෙල් පිරිපහදු කිරීම සහ කලා සහ සංස්කෘතික හුවමාරුව වැනි අංශවල සහයෝගීතාව පුළුල් කිරීමේ හැකියාව ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය. දෙරට අතර සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉරානයේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ගරු කථානායකතුමාට සහ සංගමයේ සාමාජිකයින්ට ඔහු සුහද ආරාධනාවක් ද කළේය.
සංගමයේ අභිනව සභාපති ගරු අමාත්‍ය (වෛද්‍ය) ධම්මික පටබැඳි මහතා, තමා තෝරා පත් කර ගැනීම සම්බන්ධයෙන් සාමාජිකයින්ට සිය කෘතඥතාව පළ කළ අතර, ශ්‍රී ලංකාව සහ ඉරානය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා කැපවන බව ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුවේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වැඩිදියුණු කිරීමට පහසුකම් සැලසීම සහ සහාය දීම සම්බන්ධයෙන් ගරු කථානායකතුමාට ද ඔහු සිය කෘතඥතාව පළ කළේය.
ස්තූති කතාව පවත්වමින්, අලුතින් තේරී පත් වූ ලේකම් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතා, සංගමයේ අලුතින් තේරී පත් වූ සාමාජිකයින්ට සුබ පැතුම් එක් කළේය. ශ්‍රී ලංකාව සහ ඉරානය අතර සහයෝගය වැඩි කරමින් සංගමයේ අරමුණු ආරක්ෂා කිරීම සඳහා සෙසු සාමාජිකයන් සමඟ කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.







