BREAKING NEWS
Search

බස් එක මග නතර කරපු නිසා ළමයි ට්‍රැක්ටරේට නැගලා තියෙන්නේ – ට්‍රැක්ටරේ පෙරලුනු කාර්තිව් අනතුර

23

 

අම්පාර, කාර්තිව් ප්‍රදේශයේ මාවඩිපිල්ලේ ප්‍රදේශයේදී ළමුන් පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථයක් පෙරලීමෙන් ඊයේ (26) සිදුවූ අනතුරෙන් මියගිය ළමුන් දෙදෙනෙකුගේ සිරුරු අද (27) සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.

ළමුන් පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථයක් පෙරලීමෙන් සිදුවූ අනතුරෙන් අතුරුදන් වූ පිරිස් සොයා නාවික හමුදාව මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් ද අතුරුදන් වූ පිරිස් සෙවීමේ මෙහෙයුම සඳහා එම ප්‍රදේශයට මේ වන විටත් යොමු කර ඇති බවයි.

බීබීසී සිංහල සේවය මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමකදී අම්පාර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක එම්.ඒ.සි. මොහොමඩ් රියාස් පැවසුවේ නින්දවූර් ප්‍රදේශයේ මද්‍රසා පාසැලක ඉගෙනුම ලබන සිසුන් පිරිසක් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි.

‘දෙවැනියට ආව ට්‍රැක්ටරේ අනතුරට ලක්වෙලා තියෙන්නේ’

 

අනතුරට ලක් වූ ට්‍රැක්ටරය

නින්දවූර් ප්‍රදේශයේ සිට සමන්තුරේ බලා ධාවනය වූ බස් රථයක එම සිසුන් පිරිස ගමන් කරමින් සිට තිබේ.

ගංවතුර තත්ත්වය නිසා මාවඩිපිල්ලේ ප්‍රදේශයේදී බසයේ සිටි මගීන් ඉන් බැස නැවත හැරී ගොස් ඇති බවත්; එහි සිටි මෙම ළමුන් පිරිස අසල තිබු ට්‍රැක්ටර් රථයකින් සමන්තුරේ බලා යාමේදී මෙම අනතුරට මුහුණ දී ඇති බවත් අම්පාර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා පැවසුවේය.

“නින්දවූර් මද්‍රසා පාසැලේ ළමුන් පිරිසක් සමන්තුරේට යන බස් එකක නැගලා තියෙනවා ගෙවල්වලට යන්න. කාර්තිව් ප්‍රදේශයේ මාවඩිපිල්ලේ හරියේදී මාර්ගය වතුරෙන් යටවෙලා තිබ්බ නිසා බස් එකේ හිටපු අය එතැනින් බස්සලා තියෙනවා යන්න බැහැ කියලා.”

”ඊට පස්සේ බස් එකේ හිටපු පිරිස ට්‍රැක්ටර් දෙකකට නැගලා එන්න හදලා තියෙනවා. මුලින්ම ගියපු ට්‍රැක්ටර් එකේ අය කරදරයක් නැතිව ඇවිල්ලා තියෙනවා. දෙවැනියට ආව ට්‍රැක්ටර් එකේ අය තමයි මේ සිද්ධියට මුහුණ දීලා තියෙන්නේ.”

”ට්‍රැක්ටර් එක පෙරලෙන වෙලාවේ ළමයි 09 දෙනෙක් වගේ ම ඒකේ රියදුරු සහ රිය සහයක ඉදලා තියෙනවා. ළමයි 05 දෙනෙක් ලයිට් කණුවක එල්ලිලා ඉද්දි ප්‍රදේශවාසීන් බේර ගෙන තියෙනවා. දැනට ළමයි 04 දෙනෙක් එක්ක ට්‍රැක්ටර් රියදුරු සහ රිය සහයක අතුරුදන්. ඊයේ ඉදලා අපි මෙහෙයුම් සිදුකරනවා අතුරුදන් අයව හොයලා. දැන් නාවික හමුදාවේ කිමිදුම්කරුවන් ඇවිල්ලා මෙහෙයුම් කරගෙන යනවා.” අම්පාර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක එම්.ඒ.සී. මොහොමඩ් රියාස් බීබීසී සිංහල වෙත පැවසුවේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *