පැය 4කට පසු FCID ගිය ශිරන්ති පිටව යද්දී CID ගිය නාමලුත් පිටව යයි !

484

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ පැය 4කට වැඩි කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයෙන් (FCID) පිටව ගොස් තිබේ.

සිදුකෙරෙමින් පවතින විමර්ශන කිහිපයකට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහා හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ තිබුණේ අද (03) උදෑසන 9.30ට පමණය.

මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය දැරූ සමයේ ශිරන්ති රාජපක්ෂ තවත් දෙදෙනෙකු සමඟ හවුල් ගිණුමක් ලෙස පවත්වාගෙන ගිය “සිරිලිය” නැමැති ගිණුම හරහා සිදුවූයේ යැයි පැවසෙන මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ගැනීමට අද දින ඇය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස හමුවට කැඳවා තිබුණි.

ශිරන්ති රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුගේ බද්ධ ගිණුමක් ලෙස රාජ්‍ය බැංකුවක සුදුවැල්ල ශාඛාවේ මෙම ගිණුම ආරම්භ කර තිබූ අතර, එහි ශිරන්ති රාජපක්ෂගේ ජාතික හැඳුනුම්පත් අංකය සඳහන්කර තිබුණේ, 222 222 222V ලෙස ය.

එම ගිණුම හරහා සැකකටයුතු ගනුදෙනු රැසක් සිදුව ඇති බවට චෝදනා එල්ල වී ඇති අතර, 2015 වසරේදී ජූනි 1 වන දා ශිරන්ති රාජපක්ෂගෙන් එවකට කතානායකවරයාගේ නිල නිවසේදී ප්‍රකාශයක් ලබා ගෙන තිබිණි.

ශිරන්ති රාජපක්ෂ ඉකුත් ජනවාරි 27 වැනිදා ද ප්‍රකාශ ලබාදීම සඳහා කැඳවා තිබූ නමුත් එදින එහි නොපැමිණි ඇය වෙනත් දිනයක් ඉල්ලා සිටියාය. අද දින ඇයව කැඳවනු ලැබුවේ ඒ අනුවයි.

ශිරන්ති රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් පිටව යන මොහොතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන විශාල පිරිසක් එහි රැස්ව සිටියහ.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා CIDයෙන් පිටව ගොස් තිබේ.

දැනට රැඳවුම් භාරයේ සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ සමඟ සබඳතා පැවැත්වූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (03) උදෑසන 10.15ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!