සාමාන්‍යයෙන් නිධානයක් කිව් සැණින් අපේ හිතට එන්නේ රන්, රිදී, මුතු මැණික්.
ඒත් මේ කියන්න යන්නේ ඒ හැමදේකටම වඩා වටිනාකමක් තියෙනවා යැයි කියන අතිශය අද්භූත ගනුදෙනුවක් ගැන.
පසුගියදා මොරටුවේ ප්‍රසිද්ධ හෝටලයක් ඇතුළේ සිද්ධ වෙන්න ගිය මේ රහසිගත හමුව පොලිසිය වටලනකම්ම කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරකට අනුවයි මොරටුවේ මේ හෝටලය වටලන්නේ.
ඒ වෙලාවේ සැකකරුවන් දෙදෙනෙක් ළඟ තිබිලා කැටයම් සහිත කළුගල් මුට්ටි තුනක් හමු වෙනවා. ඒත් පුදුමය ඒක නෙවෙයි, මේ කළුගල් මුට්ටි තුන ඔවුන් විකුණන්න හදලා තියෙන්නේ රුපියල් කෝටි 15කට.
“ඕක ඇතුළේ තියෙන්නේ දිව්‍ය ඔසුවක්..” පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරුවන් කියපු කතාවෙන් නිලධාරීනුත් මවිත වෙලා තියෙනවා.
ඔවුන් පවසන්නේ මේ කළුගල් මුට්ටි තුළ ඉතා වටිනා “තෙල් වැනි ද්‍රාවණයක්” ඇති බවයි.
එය රජ කාලේ සඟවන ලද, ඕනෑම දරුණු රෝගයක් සුව කළ හැකි දිව්‍ය ඔසුවක් බව ඔවුන් වැඩිදුරටත් කියා තිබෙනවා.
අද්භූත වෙදකම් සහ නිධන් රහස නිධානයකින් ලබාගත් බව කියන මේ මුට්ටිවල අඩංගු ද්‍රාවණය විවිධ අද්භූත වෙදකම් සහ මන්ත්‍ර බලය තහවුරු කිරීමට යොදාගන්නා බවයි දැනට අනාවරණය වී ඇත්තේ.
සාමාන්‍ය මිනිහෙකුට හිතාගන්නවත් බැරි මේ “රහස් ද්‍රාවණය” වෙනුවෙන් කෝටි ගණන් වියදම් කරන්න සූදානම් වුණු ඒ අදිසි හස්තය කවුද?
මේ කළුගල් මුට්ටි ඇත්තටම පුරාවස්තුද? එහෙමත් නැත්නම් මිනිසුන් මුළා කරන්න හදපු “මැජික් එකක්ද”? කියන එක ගැන දැන් පුරාවිද්‍යා අංශ පරීක්ෂණ පවත්වනවා.
ලංකාවේ නිධන් ඉතිහාසය උඩුයටිකුරු කළ හැකි මේ අභිරහස් කළුගල් මුට්ටිවල සැබෑ රහස හෙළි වන තුරු මුළු රටම දැන් බලා ඉන්නේ දැඩි කුතුහලයකින්!







