BREAKING NEWS
Search

නකල්ස් මැදින් පාරක් එපා!

401

 

 

වහා මැදිහත් වන්නැයි පරිසර යුක්ති කේන්ද්‍රය යුනෙස්කෝවට ලියයි
ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ කොටසක් වන නකල්ස් ලෝක උරුම වනාන්තරය තුළ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින මතභේදාත්මක හා නීති විරෝධී මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යුනෙස්කෝ ලෝක උරුම මධ්‍යස්ථානයේ කඩිනම් අවධානය සහ මැදිහත්වීම සිදුකරන ලෙස ඉල්ලා පරිසර සංවිධානයක් වන ‘පරිසර යුක්ති කේන්ද්‍රය’ විසින් යුනෙස්කෝ මහ ලේකම්වරයා වෙත ලිපියක් භාර දී ඇත.

පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ දිලෙන පාත්‍රාගොඩ මහතාගේ අත්සනින් ලබාදී ඇති මෙම ලිපිය යුනෙස්කෝ සංවිධානයේ ශ්‍රී ලංකාවේ ජාතික කොමිසම වෙත භාර දී තිබේ.

එම ලිපිය මගින් පරිසර යුක්ති කේන්ද්‍රය පවසන්නේ කැපී පෙනෙන විශ්වීය වටිනාකමක් සහ සුවිශේෂී ජෛව විවිධත්ව උරුමයක් ඇති නකල්ස් කඳුකර වනාන්තරය ලෝක උරුමයක් බවට පත්කර ඇත්තේ එහි ඇති වටිනාකම නිසා බැවින් යෝජිත මාර්ග ව්‍යාපෘතිය මගින් තංගප්පුවේ සිට කෝබට්ස්ගැප් දක්වා කිලෝමීටර් 8ක් දුරට වනාන්තරය තුළින් තනන මාර්ගය එම වටිනාකම් බිඳහෙලනු ඇති බවයි.

වන ආඥා පනත යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම සංරක්ෂිත වනාන්තරය බවට ද ප්‍රකාශිත නකල්ස් වනාන්තරය තුළින් මාර්ගයක් ඉදිකිරීම පැහැදිලිවම එම පනත උල්ලංඝනය කරන නීති විරෝධී කටයුත්තක් බවද එමගින් පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂවරයා අවධාරණය කරයි.

මෙවන් නීති විරෝධී කටයුත්තකට සහාය දැක්වීම සඳහා රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන නියෝජිතයන් සම්බන්ධවීම ශ්‍රී ලංකාවේ උරුමයන්හි පාලනය, වගවීම සහ දිගුකාලීන ආරක්ෂාව පිළිබඳව බරපතළ ගැටලු මතු කරන හෙයින් තත්ත්වය පිළිබඳව හදිසි සමාලෝචනයක් කිරීම සඳහා යුනෙස්කෝවේ මැදිහත්වීමක් සිදුකරන ලෙස ද ලිපිය මගින් යුනෙස්කෝ මහ ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත.

ජගත් කණහැරආරච්චි

Source – Divaina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *