වත්මන් නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ ඉලක්ක කරගෙන ඇතැම් සමාජ මාධ්‍ය විසින් කරනු ලබන පක්ෂග්‍රාහී ප්‍රචාරයන් ගැන නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන්ගේ සංගමය දැඩි කනස්සල්ල පළ කරන බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන්ගේ සංගමයේ සභාපති, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් සහ එම සංගමයේ ලේකම්, රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මිහිරි ද සිල්වා ගේ අත්සනින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.
මෙලෙස දිගින් දිගටම නීතිපතිවරයා ඉලක්ක කරගෙන සැලසුම් සහගතව කරනු ලබන ප්‍රචාරයන් නිසා නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වයට සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට අහිතකර බලපෑම් එල්ල වන බව ද මෙම නිවේදනයේ සඳහන් වේ.
පසුගිය කාලය තුළ වත්මන් නීතිපතිවරයාගේ මෙහෙයවීම යටතේ දෙපාර්තමේන්තුව ඉතා විශාල කාර්යභාරයක් ඉටු කර ඇත. ඒ බව දැන දැනත් මෙලෙස අසාධාරණ සහ අයුක්තිසහගත ලෙස එල්ල වන බලපෑම් සහ ප්‍රහාරයන් පාලනය කිරීමට වගකිවයුත්තන් පියවර ගත යුතු බව ද එම සංගමය අවධාරණය කරයි.
(lankalokaya | රන්ජිත් ආනන්ද ජයසිංහ)







