BREAKING NEWS
Search

මව සදහටම නික්ම ගියා..යුද හමුදාවේ ශෝක පණිවිඩ තියා කිසි කෙනෙක් එන්නවත් එපා – නිහතමානි ගායක කර්නල් රවීන්ද්‍ර මීගමාරච්චිගෙන් සංවේදී සටහනක්.!

8180

සමාවෙන්න අම්මේ ඔබට නිවන් සුව…!

1996 අධික යුද සමයේ යුද හමුදාවට බැඳුණු මාගේ
සේවා කාලය වසර තිහකි.
2009 යුද්ධය නිමාවන තෙක් කෙටි කාලයක් හැරුණු කොට අන් සියලු කාලයන්හි කිසිදු පැකිලීමකින් තොරව උද්යෝගයෙන් සතුටින් මෙන්ම මාගේ භාෂාවෙන් නම් ගැම්මෙන් සහ උනෙන් ක්‍රියාන්විත ප්‍රදේශයන්හි
රාජකාරී සිදු කරමින් යුද්ධය අවසන් වීමෙන් පසුවද යළිත් ඒ ඒ ප්‍රදේශයන්හි වැඩිදුරටත් රාජකාරී සිදු කළෙමි.

යුද හමුදා රාජකාරිය වපසරියට පරිබාහිරව මාගේ දක්ෂතාවයන්ගෙන් සහ හැකියාවෙන් යුද හමුදාවට දායාද කළ දේ බොහෝය.

ඒ සියල්ල පසුපස සිටියෝ නම් පාසල් අවධියේ මාගේ පියාගේ අභාවයෙන් පසුව මා හට ඉතිරිව සිටි ආත්මීය වස්තූන් වන මාගේ මව ,සහෝදරයා පසුකාලීනව අපගේ පවුලට එක්වූ බිරිඳගේ මව බිරිඳ සහ ඇයට දාව උපන් දරුවන් හැර වෙන කවරෙකු වත් නොමැත.

මගේ එකම සොහොයුරා විදේශ ගත වීමෙන් අනතුරුව ඇයට සිටි එකම පුතු යුද හමුදාවට දායාද කළ මාගේ අම්මා මා හට මුහුණ දීමට සිදුවූ අනේකවිධ පළිගැනීම් සබැඳිව හාන්කවිසියක් නොදන්නා පසුබිමක මා එම නීරස තනිව විඳ ඇගෙන් වසන් කළෙමි ඒ හුදෙක් අවරට යන ඇයගේ ජීවිත සැදෑ සමයේ තම එකම පුතුණුවන් මෙවන් ආයතනයකට දායාද කිරීම සබැඳිව සෝ සුසුම් හෙලමින් ඇය පසුතැවීමෙන් මිය දෙනු දැකීමට තරම් මා පව් කර නොමැති බැවිනි.

එවන් පසුබිමක රට ජාතිය සහ යුධ හමුදාව වෙනුවෙන් අසමසම කැප කිරීමක් සිදුකළ මාගේ මව්වරුන් දෙනාම පසුගිය මස දැඩි සත්කාර ඒකකයන්හි මරණය සමග පොරබදින මොහොතක අද අප අතරින් වෙන් වූ මාගේ භාර්යාවගේ මව “CHEMOTHERAPY” සහ අනිකුත් ප්‍රතිකාරයන් සඳහා රෝහල් වෙත නිරතුරුව රැගෙන යායුතු වතිබූ මොහොතක තවදුරටත් මා පළිගැනීමට ලක් කරමින් නිත්‍ය හමුදාවේ මාගේ සේවා කාලයට සහ නිළියට කිසිසේත් නුසුදුසු තනතුරකට පත්කර තොපිගල බල සේනා මූලස්ථානයට ස්ථාන මාරුවීමක් ලබාදීම විනය ගරුක නිලධාරීවරයෙකු වශයෙන් කිසිදු පැකිලීමකින් තොරව මා භාර ගතිමි.
කිසිසේත් මා එම ස්ථාන මාරුවීම අවලංගු කරන ලෙසට හෝ එය පිළිගත නොහැකි බව පවසමින් දුක් ගැනවිලි ඉදිරිපත් නොකළෙමි.

මා ඉල්ලා සිටි එකම දෙයක් ඇත්නම් එය අද දින මිය ගිය මව ඇයට අවශ්‍ය “CHEMOTHERAPY” ප්‍රතිකාර අනිකුත් ප්‍රතිකාරයන් සඳහා රෝහල් වෙත රැගෙන යාමට නිවාඩු දින කිහිපයකි.

ඊට අවසර නොලැබීම විශ්වකෝෂයේ වචනයන්ගෙන් පරිබාහිරව විශ්වයෙන් වචන ගෙන අර්ථ දක්වා සාධාරණීකරණය කිරීමට උත්සහ දැරුවද සිදුකළ නොහැක්කකි.

එම අනීතික පත්කිරීම අභියෝගයට ලක් නොකරමින් පසුගිය ජුනි මස 8වන දින මා එම බලසේනාවේ රාජකාරී භාර ගත් අතර ජුනි මස 19 වන දින යුද හමුදා මූලස්ථානය මගින් මාගේ විශ්‍රාම ගැන්වීම අතිගරු ජනාධිපති සේනාධිනායක අනුර කුමාර දිසානායක මහතා විසින් ජුනි මස 3 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අනුමත කර ඇති බවට දන්වනු ලැබීය.

2032 වර්ෂයේ අප්‍රේල් මස 3 වන දින විශ්‍රාම යෑමට නියමිතව සිටි මා මෙලෙස අනීතිකව විශ්‍රාම ගැන්වීම
ලොව ප්‍රථම වතාවට ගෙවී ගිය පසු දිනයකට බලපැවැත්වෙන අයුරින් සිදු කරන ලද විශ්‍රාම ගැන්වීමක් ලෙස ලෝක වාර්තා අතරට එක්වන කල්හි මෙම අනීතික ක්‍රියාව සබැඳිව බලධාරීන් විසින් මුනිවත රැකීම ලෝකයේ අට වන පුදුමය ලෙසට එක්වන කාරණාවෝය.

මෙම විශ්‍රාම ගැන්වීම පිළිබඳව මේ මොහොතේදී ගරු ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රි පුද්ගල මණ්ඩලයක් විසින් මාගේ මානව හිමිකම් උල්ලංඝනය වීම සබැඳිව අධිකරණයෙන්මය ක්‍රියා මාර්ග පැවතීම සහ මා විසින් ඒ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීම වැනි භෞතික කරුණු
මේ මොහොත වන විට මා හට වැදගත් නොවන පසුබිමක

මා හට ඇසීමට ඉතිරිව ඇත්තේ එක් ප්‍රශ්නයක් පමණි…

එසේම ජූනි 3වන දින සිට බලපැවැත්වෙන අයුරින් මා අනීතිකව විශ්‍රාම ගැන්වීමට පිඹුරුපත් සකස් කරමින් සිටියදී මාගේ මවගේ ජීවිතය බේරා ගැනීමට වෙනුවෙන් පමණක්ම ජුනි මස 3 වන දිනට පසුදිනක මා විසින් ඉල්ලා සිටි නිවාඩුව අවම වශයෙන් ලබා දුන්නේ නම් මේ මොහොත වන විටද ඇය හුස්ම ගන්නවා නියතය,

අවසානයේ අපට ඇයද මට සක්‍රීය සේවයද යන දෙකම අහිමි කළෝය.
ස්වාධීන ගරු ශ්‍රේෂ්ඨාධිකරණය මා හට නැති වූ සියල්ල නියත වශයෙන් නැවත ලබා දුන්නද කිසිදු දිනක යළි නොයන ඇයගේ හුස්ම වාතලයට මුසුව හමාරය.

කළ නොහැක්කක් නොමැති උදවියට ද්වේශ සහගතව පළිගැනීමට මෙවන් දේ සිදු කළ හැකි වුවද මියගිය අපගේ මව යළිදු අප වෙත ගෙන්වා දීමට ඔවුන්ට නොහැක
කිසි දිනක කළ නොහැක.

ඊට වගකිව යුත්තෝ මේ මොහොත වන විට සිටිය යුත්තේ හිරේද යන්න තීරණය බලධාරීන් සතු නමුදු නිරයේද යන්න කර්මය සහ ස්වභාව ධර්මයා විසින් දැනටමත් තීරණය කර අවසන්ය.

මෙම සටහන දියාරුවට සැකසූද ගිනි කඳු යට කැකෑරෙමින් ගින්දර තුළ ගිනි ගන්නා ලෝදියට එහා වහා ගිනිගන්නා සුළු අනුවේදනීය මාත්‍රාවකි.

තවද අපගේ මවට සිදුකරන ගෞරවයක් වශයෙන් යුද හමුදා ශෝක ප්‍රකාශයන් , මල්වඩම් සහ බැනර් බාර නොගන්නා බවත් කිසිදු තරාතිරමක යුද හමුදා සාමාජිකයකු අවමංගල්‍ය කටයුතු පැවැත්වෙන පරිශ්‍රයන්ට ඇතුල් නොකර ගන්නා බවට පවුලේ සැම ඒකමතිකව තීරණය කර ඇති පසුබිමක ඉහත ප්‍රකාශිත ක්‍රියාවන්වල නිරතව අපහසුතාවයට පත් නොවන ලෙසට කාරුණිකව ඉල්ලා සිටිමු.

අපගේ මවට සිදු වූ මෙම අනුවේදනීය ඛේදවාචකයට තවත් වෙළුමක් එක් නොකිරීමට බලධාරීන්ගේ නෙත් යොමු වේවා යයි ප්‍රාර්ථනා කරමි.

I am deeply saddened
to announce the passing of my
beloved mother in law today.

I WOULD LIKE TO INSIST THAT
ANY MILITARY ASSISTANCE,
CONDOLENCES, FUNERAL WREATHS,
BANNERS, OR ANY PARTICIPATION
FROM THE
SL ARMY IS NOT WELCOMED

for the upcoming funeral service

On behalf of the saddened family




Leave a Reply

Your email address will not be published. Required fields are marked *