මාලිනි සෙනෙහෙලතා ෆොන්සේකා ලෙසින් 1947 අප්‍රේල් මස 30 වන දින උපන් මාලිනි ෆොන්සේකා මහත්මිය මෙරට සිංහල සිනමා ඉතිහාසය රන් අකුරින් ලියන්නට සමත් වූවාය.
ඇය සිය රංගන ප්‍රතිභාව ප්‍රතාපවත් කරන්නේ 1968 වසරේ වේදිකාගත වුණු නොරත රත වේදිකා නාට්‍යයෙනි.
තිස්ස ලියනසූරිය අධ්‍යක්ෂණය කළ “පුංචි බබා” චිත්‍රපටය හරහා සිනමාවට පිවිසි ඇය එයින් පසු සිනමා නිර්මාණ 140 කට ආසන්න සංඛ්‍යාවකට සේම ටෙලිනාට්‍ය සදහා ද රංගනයෙන් දායක වී ඇති අතර ඒ සමහර චිත්‍රපට ජාත්‍යන්තර මට්ටමේ සම්මානයට පවා පාත්‍ර විය.
හොඳම නිළිය සහ ජනප්‍රියම නිළිය ලෙස සරසවි සම්මානයට පාත්‍ර වුණු මාලිනී ෆොන්සේකා මහත්මිය OCIC සම්මානය, ජනාධිපති සම්මානය සහ “කෙම්මුර” ටෙලි නාට්‍ය වෙනුවෙන් සුමති සම්මානයෙන්ද පිදුම් ලැබුවාය.
එසේම සිරිපාල සහ රන්මැණිකා චිත්‍රපටය වෙනුවෙන් හයවන ඉන්දියානු ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී ගෞරව ඩිප්ලෝමා සහතිකයකින්ද, ආකාශ කුසුම් චිත්‍රපටය සඳහා හොඳම රංගනය වෙනුවෙන් තිස් නව වන ඉන්දියානු ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී Silver Peacock සම්මානයෙන් පිදුම් ලැබීමට තරම් ඇයගේ රංගන කෞශල්‍ය ජාත්‍යන්තර මට්ටමේ ඇගයුමට ලක් විය.
සිංහල සිනමාවේ නිළි රැජන ලෙසින් විරුදාවලිය ලැබූ ඇය සිංහල සිනමාවේ එතෙක් මෙතෙක් බිහි වූ සුන්දරතම රූප සම්පත්තිය හිමි රංගන ශිල්පිනියද වූවාය. ඇයගේ සුන්දරත්වය බොහෝ තැන්වල වැඩි අවධානයට පාත්‍ර වුණු අතර ඒ නිසාම ඇයට දමිළ සිනමාවේ රංගනය සඳහා වරම් හිමි විය.
ඒ අනුව 1978 වසරේ තිරගත වුණු “Pilot Premnath” දමිළ චිත්‍රපටයට ඇය රංගනයෙන් දායක විය. විශේෂත්වය වන්නේ සම්මානනීය ඉන්දියානු නිළී ශ්‍රී දේවි මෙම චිත්‍රපටයේ රඟපෑ අතර මාලිනී ෆොන්සේකා මහත්මිය ඇයගේ මවගේ චරිතය රඟපෑමයි.
මාලිනී ෆොන්සේකා මහත්මිය රඟපෑ චිත්‍රපට අතර “බඹරු ඇවිත්, නිධානය, ආකාස කුසුම්, බැද්දේගම, සිරිපාල රන්මැණිකා, එයා දැන් ලොකු ළමයෙක්” චිත්‍රපට මෙරට සිනමා ඉතිහාසයේ තිරගත වුණු අද්විතීයම සිනමා නිර්මාණ ලෙස හැඳින්විය හැකිය.
එසේම ඇය සිනමා නිර්මාණ දෙකක් සඳහා අධ්‍යක්ෂණයෙන් ද දායක වූවාය. ඒ 1987 වසරේ තිරගත වුනු අහිංසා චිත්‍රපටය සහ 1991 වසරේ තිරගත වුනු ස්ත්‍රී චිත්‍රපට ද්විත්වයයි.
මෙලෙස සිනමා ඉතිහාසයේ නොමැකෙන සටහන් තැබූ මාලනී ෆොන්සේකා මහත්මිය මිය යන විට 78 වන වියේ පසුවිය… ඇයගේ මෙම අහිමිවීම මෙරට සිංහල සිනමා වංශකතාවේ පිරවිය නොහැකි අඩුවක් වනු නොඅනුමානය.
ඇයගේ මෙම හදිසි වියෝවෙන් කලා ලෝකයේ බොහෝ දෙනෙක් කම්පාවට පත් ව සිටිනවා.
මේ ඔවුන් ඇය ගැන තැබූ සංවේදී සටහන් කිහිපයක්..